වැලිගම නගර ශාලාවේ පැවති විවාහ මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ඇතුළු වී ආහාර කෑමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනෙකු එහි සේවකයින් විසින් අල්ලා දණගස්වා පොලීසිය වෙත භාර දීමේ සිද්ධියක් වාර්තා වේ.
නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනෙකු මෙම සිද්ධියට ලක්ව ඇත්තේ ඉකුත් 04 වැනිදාය.
එසේ අල්ලා ගෙන සිටි සිසුන් පස් දෙනා නගරාධිපතිනියගේ දැනුම් දීම පරිදි පොලීසිය පැමීණ වැලිගම පොලීසිය වෙත කැදවා ගෙන ගොස් තිබේ. පසුව ඔවුන් පැය කිහිපයකට පසු මුදා හල බව වැලිගම පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම සිද්ධියට ලක්වු සිසුවකු මෙසේ කීය.
“මුස්ලිම් විවාහ මංගල්‍යය වලට විශාල පිරිසකට උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කීවේ.ඒ අනුව අපි පස් දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කීවා.ඒ අතරතුර දී නගරාධිපතිතුමිය හා තවත් කිහිප දෙනෙක් ඇවිත් අපිට බැනලා පඩි පෙළ ලග දණ ගහ ගෙන ඉන්න කීවා.
විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වූණා.ටික වේලාවකට පසු පොලීසිය පැමිණ අපිව රැගෙන ගියා.එහෙදිත් බැනලා පැය තුනකට පසුව අපි අම්මලා තාත්තලාට භාර දුන්නා.”
මේ පිළිබඳව වැලිගම නගරාධිපතිනී යමුනා කාන්ති මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ අදාල පිරිස ළමුන් නොව කෑම බලහත්කාරයෙන් කොල්ලකෑම සඳහා පැමිණි පිරිසක් බවයි.
ඔවූන් දණගැස්වීමක් සිදු නොකල බවද ඇය කීවාය.
කෙසේ වෙතත් මෙම සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුන් පිරිස තම කාර්යාලයට කැදවා ප්‍රණීත දිවා ආහාරයක් සපයා දීමට වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා අද (06) දහවල් කටයුතු කලේය.
මාතර සෙව්වන්දි
