වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කෙටිකාලීන හා දිගුකාලීන උපායමාර්ග වෙත අවතීර්ණ වෙමින් ස්ථාවර තත්ත්වයකට ආර්ථිකය රැගෙ ඒමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කරමින් අද (23දා) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සඳහා යෝජනා සහ අදහස් අපේක්ෂාවෙන් සමුළුව කැඳවා තිබිණ. පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ සිය යෝජනා ලිඛිතව හා වාචිකව සභාවට ඉදිරිපත් කළහ. රටත් ජනතාවත් වෙනුවෙන් සිය උපරිම දායකත්වය සහ කැපවීම සර්ව පාක්ෂික සමුළුවට ඉදිරියේ දී ලබාදෙන බව ද පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ කියා සිටියහ.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වත්මන් ආර්ථික තත්ත්වය සමුළුවට ඉදිරිපත් කළේය.
සර්ව පාක්ෂික සමුළුව අවංක ප්රයත්නයකි. කිසිදු දේශපාලන වාසි අපේක්ෂාවක් හෝ පටු අරමුණක් ඒ තුළ නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. රජය කළ ආරාධනය පිළිගත් සහ ජාතික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනිමින් සහභාගී වූ සියලුම පක්ෂවලට ජනපති සිය ස්තූතිය පිරිනැමීය. සහභාගී නොවූ සෙසු පක්ෂ වලට පැමිණ සිය ස්ථාවරය සර්ව පාක්ෂික සමුළුව හමුවේ ප්‍රකාශ කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලී ය. ඉදිරිපත් කළ සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඵලදායී යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට හැකි බව ද කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, එක්සත් ජනතා පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි, යන දේශපාලන පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ සමුළුවට එක්ව සිටියහ.
ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින් සමුළුවට සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
