විදුලිය, ඉන්ධන, ගෑස් හා ආහාර අර්බුදය ඇතුළු ජනතාව මුහුණ පා සිටින වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීමට කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශේෂ්ඨාධිකරණය අද (04දා) අවසර දුන්නේය.
පෙත්සම් ලබන 8 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එම පෙත්සම් වල වගඋත්තරකරුවන් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, භාණ්ඩාගාර ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා, එම බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව” නීතිපතිවරයා, ඇතුළු 42 දෙනෙකුට අධිකරණය නොතිසි ද නිකුත් කළේය.
පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් එම විරෝධතා ලබන 8 වනදා ගොනුකිරීමටද වගඋත්තරකරුවන්ට නියම කළේය.
ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, එහි උප සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, ලේකම් රජීව අමරසූරිය, භාණ්ඩාගාරික රජින්ද පෙරේරා, නියෝජ්‍ය ලේකම් පසිඳු සිල්වා යන මහත්වරු මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.
එම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, භාණ්ඩාගාර ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා, එම බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව” නීතිපතිවරයා, ඇතුළු 42 දෙනෙකු නම් කොට ඇත.
වර්තමානයේ රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදකාරි තත්වය හේතුවෙන් ඛනිජ තෙල්, විදුලිබලය, ගෑස්, ආහාර, ඖෂධ, පිටිකිරි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල හිඟයක් පවතින බවත් මේ තත්වය හේතුවෙන් මහජනතාව මෙන්ම ව්‍යාපාරිකයින්ද දැඩි අසරණ භාවයකට පත්ව සිටින බවත් පෙන්වා දෙන පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය මින් ජනතාව දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්ව සිටින බවත් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සඳහන් කොට ඇත.
ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සේ සැලකෙන ආහාර, ගෘහස්ථ ගෑස්, පිටිකිරි, විදුලිය, ඖෂධ වැනි ද්‍රව්‍ය හිඟයකින් තොරව මෙන්ම සහනදායි මිල යටතේ අඛණ්ඩව මහජනයා වෙත සැපයීමට හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ ආර්ථික විශේෂඥයින්, රාජ්‍ය ආයතන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සමඟ සාකච්ඡා කොට වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට ඉවහල් කර ගත හැකි කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලයට නියෝග කරන්නැයිද ඉල්ලා සිටිති.
මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට හා ව්‍යාපාරිකයින්ට සහන සැලසිය හැකි ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ ඊට අමතරව දේශීය කෘෂිකර්මාන්තය, කිරි නිෂ්පාදනය, සත්ව නිෂ්පාදන ඉහළ නැංවීමේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයට නියෝග කරන්නැයිද වැඩිදුරටත් ඉල්ලා සිටිති.
මෙම පෙත්සම් සලකා බැලීම සඳහා අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු දක්වමින් ගෑස්, විදුලිය, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ සේවාවන් සපයා ගැනීමට නොහැකි වීම නිසා මහජනයා දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි පැවසීය”
පසුගිය දිනවල ඇඳිරි නීතීය පනවා තිබුණත් එම දින කිහිපයේදීම දිවයින පුරා මහජන උද්ඝෝෂනයක් පැවැත් වු බවත් ඒ හරහා රට තුළ අරාජික තත්වයක් නිර්මාණය වෙමින් ඇති බවත් ඇදිරි නීතිය පැහැර හරිමින් මහජනතාව නීතිය අතට ගෙන ජනතාව මෙලෙස කටයුතු කළේ ඉතිහාසයේ පළමු වතාවට බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මේ තත්වය යටතේ නීතියේ ආධිපත්‍යය බරපතල අභියෝගයකට ලක් වී ඇතැයිද පැවසීය.
ශ්‍රී ලංකාව තුළ විනිවිද භාවය සහ වගවීම නොමැති වීම නිසා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද නීතියේ ආධිපත්‍යය බරපතල ලෙස ගරා වැටෙන තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තම සේවාදායකයින් මෙම පෙත්සම් ගොනු කිරීමට පියවර ගතතේ යැයිද පැවසු ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මෙවැනි තත්වයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍යය සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පූජනීය වගකීම අධිකරණයට පැවරී ඇතැයිද පැවසීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පූල්ලේ මහතා කරුණු ඉදිරිපත් කරමින් කිසිදු පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමය සඳහා නීතිපතිවරයා විරුද්ධ නොවන්නේ යැයි පැවසීය.
රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියා පිළිවෙතට නීතිපතිවරයා කිසිදු අවස්ථාවක විරුද්ධ නොවන බවත් එම ක්‍රියාපිළිවෙත සඳහා නීතිපතිවරයා සහයෝගය දක්වන බවත් කී අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පූල්ලේ මහතා මෙම නඩුවේදී තමා පෙනී සිටින්නේ අධිකරණයට සහාය වීම සඳහා යැයි පැවසීය”
කෙසේ වෙතත් අධිකරණයට කටයුතු කිරීමට සිදු වන්නේ ආණ්ඩුක්‍රම ව්යවස්ථාවෙින් සම්පාදනය කර ඇති බල සීමාවන්ට යටත්ව යැයිද තම දේශනයෙන් එම බල සීමාවන් දැනුවත් කිරීමට තමා උත්සාහ කරන්නේ යැයිද පෙත්සම්කරුවන් ඉදිරිපත් කොටට ඇති මෙම පෙත්සම් වලින් ඉල්ලා ඇති සහන ප්රදානය කිරීමේ හැකියාව ඇත්තේ විධායකයට යැයිද ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය ඇත්තේ අමාත්‍ය මණ්ඩලයට යැයිද කී නෙරින් පූල්ලේ මහතා මේ තත්වය යටතේ පෙත්සම්කරුවන් ඉල්ලා තිබෙන සහන අධිකරණයට ප්රදානය කිරීමට හැකියාවක් ඇත්දැයි යන්න සලකා බැලිය යුතුව ඇතැයිද පැවසීය.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේෂ් ඥානරාජ් මහතා කරුණු ඉදිරිපත් කරමින් විධායකය විසින් සම්පාදනය කරන ප්‍රතිපත්තිමය තීරණයන්හි ව්‍යවස්ථානුකූලභාවය පරික්ෂා කිරීමේ බලය ශේෂ්ඨාධිකරණයට පැවරී ඇතැයි පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වු සියළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය.