ශ්‍රී ලංකාව තුළ ආර්ථික අර්බුදයක් පැවැතියත් එම තත්ත්වය ඉක්මණින්ම මඟහරවා රට යථා තත්ත්වයට ගෙන ඒමට වර්තමානයේ ගෙන ඇති පියවර තුළින් ශ්‍රී ලංකා රජයට හැකියාව ඇති බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපති ඩෙනිස් චයිබි මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ පසුගියදා හම්බන්තොට දී පැවැති යුරියා පොහොර බෙදා දීමේ වැඩ සටහනකට සහභාගි වන අතරතුර අගුනකොළපැලැස්සේ පැවැති දානමය පුණ්‍යකර්මයකට සහභාගි වෙමිනි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වීමෙන් පසුව නව වන වරටත් පවත්වන ලද දානමය පිංකම පසුගියදා අගුණකොපාලැස්සේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ දී පැවැත්විනි.එම දානමය පිංකමට යුරෝපා සංගමයේ තානාපතිවරයා හා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා ද සහභාගි වූහ.
මහා සංඝරත්නයට දානය පිළිගැන්වීමේ අවස්ථාවට සහභාගි වු තානාපතිවරයා එහි දී රැස්ව සිටි අමාත්‍යාංශයේ නිලධාරින් සමග ද සාකච්ඡාවක් පැවැත්විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධව අදහස් පළ කළ තානාපතිවරයා-
"ශ්‍රී ලංකාව අතීතයේ ගැටළු ගණනාවකට මුහුණ දුන්නා. ශ්‍රී ලංකාව කියන්නේ අවුරුදු 30ක් යුද්ධය පැවැති රටක්. ඒ වගේම සුනාමිය ව්‍යසනය නිසා රටේ ආර්ථික සංවර්ධනය අඩාල වුනා. ඊට පස්සේ කොවිඩ් 19 වසංගත තත්ත්වය ආවත් ඊට මුහුණ දී කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.
මෑත කාලය තුළ ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා. දැනට ගෙන තිබෙන ක්‍රියාමාර්ග අනුව ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවට යථා තත්ත්වයට පත්විය හැකියි. විහේෂයෙන් කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට යුරෝපා සංගමය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන මෙන්ම රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට උදව් කරනවා. අපි යුරෝපා සංගමය විදියට අපේ සහයෝගය අපි දිගටම ලබා දෙනවා.
මින් පෙර පැවැති ගැටළු නිරාකරණය කිරීමට ශ්‍රී ලංකා රජයට හැකි වුනාක් මෙන් මෙම ආර්ථික අර්බුදය ද කළමනාකරණය කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බව අපිට විශ්වාසයක් තිබෙනවා" යැයි ද හෙතෙම සඳහන් කළේය.