මෙරට ආර්ථිකය කඩා වැටීම සඳහා අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහබැංකු අධිපතිවරයා මෙන්ම පී.බී.ජයසුන්දර හිටපු ජනාධිපති ලේකම්වරයා මූලික වශයෙන් වගකිය යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මේ හේතුවෙන් වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225දෙනාට බැට කෑමට සිදුව තිබෙන බව අද (15දා) පාර්ලිමේන්තුවේ පැවති 2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ විවාදයට එක්වෙමින් සඳහන් කළේය.
“දේශපාලඥයන්ගේ වගකීම මේ දේවල් සඳහා පැටවිලා තිබෙන්නේ වැරදි පුද්ගලයන් රජයේ වැදගත් ස්ථාන වලට පත් කිරීම නිසා. 2006 අප්‍රේල් මාසයේදී එවකට මම රාජ්‍ය බැංකු සංවර්ධන අමාත්‍ය ධුරයෙන් ඉල්ලලා අස්වෙන්න බලපාපු එක හේතුවක් තමයි මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කබ්රාල් මහත්මයාව පත් කිරීම.
මම ඔහු පත් කරද්දි කිව්වා සුදුසු නෑ කියලා. මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න මූලික වශයෙන් ලොකු විනාශයක් කළ තැනැත්තෙක් තමයි අජිත් නිවාඩ් කබ්රාල් කියන්නේ. ඒ වගේම පී.බී ජයසුන්දර කියන්නේ. එදා ආණ්ඩුවේම අය ආර්ථික ඝාතකයෝ විදියට හඳුන්වලා දුන්නා. ඒ උදවියගේ ක්‍රියාකලාපය නිසා අද පාර්ලිමේන්තුවේ 225 දෙනාටම බැට කන්න සිදුවෙලා තිබෙනවා. ඒ වගේ පුද්ගලයන් පත් කිරීම තමයි දේශපාලඥයන් සිදු කර ඇති වැරදි.”