වන අලියා බෝග හානි සිදු කළත්, ඌ ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් නොකිරීමටත්, නමුත් ආරක්ෂිත සත්ව ලැයිස්තුවේ සිටින වගාහානි සිදු කරන අනෙක් සතුන් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඒ සඳහා පත් කළ කමිටුවේ අවධානය යොමු වේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව විසින් වගා කරන බෝගවලින් සියයට 40ක් වාර්ෂිකව සතුන් විසින් හානි කිරීම නිසා විනාශයට පත්වේ. ජාතික ආහාර සුරක්ෂිතතාවයට මෙම තත්ත්වය බරපතල ලෙස බලපෑමක් එල්ල කර තිබේ.
වනසතුන් විසින් සිදු කරන බෝගහානි අවම කර ගැනීම සම්බන්ධව සියලු ගොවි සංවිධාන සමග කළ සාකච්ඡාවල දී එම ගොවි නියෝජිතයින් ප්‍රකාශ කරන ලද්දේ ඇතැම් සතුන් විසින් සිදු කරන බෝග විනාශයන් නිසා තමන්ට නිසි පරිදි ආදායමක් ලබා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.
මේ සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, වනජීවි හා වනසම්පත් අමාත්‍යාංශයේ ලේකම්, වනජීවි අධ්යක්ෂ ජනරාල්, ඇතුළු නිලධාරිහු අයත් වෙති.
බහුල ලෙස වගාවන්ට හානි සිදු කරන සතුන් ලෙස දඩුලේනා, මොණරා, ඉත්තෑවා, වල් ඌරා, රිළවා හා වඳුරා ආදි සතුන් මෙන්ම වන අලියා ද අයත් වේ.
එසේ වුවත් වනඅලියා ආරක්ෂිත සත්ව කාණ්ඩයේ ලා සැළකෙන නිසා වනඅලියා එම ලැයිස්තුවෙන් ඉවත් නොකිරීමට කමිටුව තීරණය කර තිබේ. ජාතික සත්වයා දඩුලේනා වුවද එම සත්වයා බෝගහානි සිදු කරන සත්ව ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි ගැටළුව සම්බන්ධව පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැති අතර එහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේ ආරක්ෂිත සත්ව කාණ්ඩයෙන් ඉවත් කළ ද වගා හානි සිදු කරන සතුන් සම්බන්ධව විකල්ප වැඩ පිළිවෙළක් ඒ සඳහා පත් තළ කමිටුව විසින් යෝජනා කළ යුතු බවයි.
බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදු වන හානි වළක්වා ගැනීමට දශක කිහිපයක් තිස්සේ විවිධ ක්‍රියාමාර්ග ගත්තත් ඒ සියල්ල මේ වනවිට අසාර්ථක වී තිබේ.
අප රටේ වන අලි ගහණය මේ වනවිට 5000 ඉක්මවා ඇතත් වාර්ෂිකව වන අලි ඝාතනය කිරීම් ඉහළ යාම නිසා වන අලියා ආරක්ෂිත සත්ව කාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කළහොත් වන අලි ඝාතන දැනට වඩා ඉහළ යා හැකිය. එම නිසා වන අලියා ජාතික සම්පතක් ලෙස රැක ගත යුතුය. විශේෂයෙන් සංචාරක කර්මාන්තය මගින් රටට විශාල ආදායමක් වනඅලි නිසා ලැබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
කෙසේ වුවද වගාවන් වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කාටත් පිළිගත හැකි සුදුසු කාර්යක්ෂම වැඩ පිළිවෙළක් සැකසීමට හා යෝජනා කිරීමට අදාල කමිටුවට වගකීමක් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරිහු රැසක් සහභාගි වූහ.