ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව හෙට (11දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
කොළඹ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (10දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“අපි හෙට දින ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකරට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් කථානායකතුමාට භාර දෙන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය දශකයක පමණ කාලය තුළ මේ රටේ පාස්කු ප්‍රහාරය පිළිබඳ යුක්තිය ඉටු වීම , වින්දිතයන්ට යුක්තිය ඉටු වීම පිළිබඳ කාරණය ඉතා බරපතළ සමාජීය හා දේශපාලනික කාරණයක් වශයෙන් මතු වුණා. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වුණු ඒ වින්දිතයන්ට වගේම මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ටත් ජාති ආගම් බේදයක් නැතිව මේ පාස්කු ප්‍රහාරය සැබෑ වරදකරුවන් කවුද, සැබෑ කුමන්ත්‍රණ කරුවන් කවුද, මහ මොළකාරයා කවුද කියලා සොයා බලා ඒ අයට දඬුවම් කිරීම ඉතා වැදගත් දෙයක් බවට එකඟතාවක් තිබෙනවා. මේ රටේ ආණ්ඩු පක්ෂය තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දුන්න ප්‍රධානම පොරොන්දුවක් තමයි පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වනවා කියන එක. ඒ වගේම විපක්ෂය ලෙස අපිත් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරණයේදී කිව්වා විතරක් නෙවෙයි, ඒ සාධාරණ පරීක්ෂණය ස්වාධීන වාතාවරණයක් තුළ අයුතු බලපෑම්වලින් තොරව ජාත්‍යන්තර ප්‍රමිතියට පැවැත්වීම ගැනත් සාකච්ඡා කළා.
පාස්කු ප්‍රහාරයේ කොමිෂන් සභා වාර්තාවෙන් හෙළි වුණු පසුබිම් කාරණා , ස්වාධීනව හෙළිදරව් වුණු නිගමන කියන පසුබිම තුළ අපිට බරපතළ සැකයක් ඇති වෙලා තිබෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ බරපතළ ප්‍රගතියක් නැත්තේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ තැනැත්තන් හෝ පාස්කු ප්‍රහාරය පිළිබඳ නොසැලකිලි කමට වගකිව යුතු තැනැත්තන් හෝ මහ මොළකරු හෝ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන්, මුල් අවස්ථාවේදීම සාක්ෂි වසන් කළ පුද්ගලයන් මේ රජයේ පංගුකාරයන් වෙලා ඉන්නවාද , මේ රජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ ඉන්නවාද, සාක්ෂි එකතු කිරීමට බලපෑම් කරනවාද, රජය නොමග යවනවාද කියන ප්රශ්නය මතුවෙලා තිබෙනවා. එතනදි තමයි හෙළිදරව් වුණේ දැනට මේ රජයේ ආරක්ෂක විෂය පිළිබඳව භාර නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන මේජර් ජනරාල් අරුණ ජයසේකර ගැන. ”