ආපදා කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබූ ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රු. ලක්ෂ 10 කට අධික පාඩුවක් කළ බවට හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන නොවැම්බර් 07 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (06දා) නියම කළේය.
ආපදා කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබූ ලෑන්ඩ් කෲසර් රථයක් 2005 වසරේ සිට 2010 වසර දක්වා කාලසීමාව තුළ පාවිව්වි කිරීම මගින් රජයට රු. ලක්ෂ 10 කට අධික පාඩුවක් කළ බවට හිටපු රාජ්‍ය ඇමති ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරා තිබිණ.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ඒ.එච්.එම්.ෆවුසි මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර, ඒ මහතා පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා සහභාගි වන බව දැනුම් දෙමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට ලිපියක් ඉදිරිපත් කළේය.
ආපදා කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් 2010 නොවැම්බර් 10 වැනිදා අපදා කළමනාකරණ අමාත්‍යාංශයට ලෑන්ඩ් කෲසර් රථයක් ඇතුළු රු. කෝටි දෙකක් පමණ වටිනා වාහන පහක් ලබාදී තිබු බවත්, එසේ ලබාදී තිබූ ලෑන්ඩ් කෲසර් රථයක් වසර හතරක කාලයක් පුරා පාවිව්වි කිරීම මගින් රජයට පාඩු කළ බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබිණ. ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා නඩුව නොවැම්බර් 07 වැනිදා කැඳවීමටද නියම කළේය.