කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත්මහල් ගොඩනැඟිල්ල අද (22දා) විවෘත කිරීමට නියමිතව තිබූ නමුත් මැතිවරණ කොමිසමේ නියෝග මත එම විවෘත කිරීම අත්හිටුවා තිබේ.
ගොඩනැගිල්ලේ ඉදි කිරීම් අවසන් නොකර මෙලෙස විවෘත කිරීම අනාරක්ෂිත බවටත්, එය සිදු කෙරෙන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් බවටත් මැතිවරණ කොමිසමට විද්‍යාලයේ දෙමාපියන්,ආදි සිසුන් සහ දේශපාලන නියෝජිතයන් කළ පැමිණිලිවලින් පසුව මෙලෙස මෙම අත්හිටුවීම සිදුකර ඇත.
කොළඹ ආනන්ද විද්‍යාලය සතු මෙම සත්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹුණේ 2015දී වන අතර එහි ඉදිකිරීම් තවමත් අවසන් නොවී තිබියදීම මෙලෙස සිසු අයිතියට පත් කිරීමට සැලසුම් කිරීම දරුවන්ට අනාරක්ෂිත තත්ත්වයක් බවට චෝදනා කරමින් විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් සහ ආදි සිසුහුද ඊයේ (21දා) මීට එරෙහිව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මෙම විවෘත කිරීම සම්බන්ධයෙන් ආනන්ද විද්‍යාලයේ දෙමව්පියන්ගේ සංගමය සහ ආදි ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් ඉන් අනතුරුවයි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එම පැමිණිලිවලින් පසු මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ඊයේ පස්වරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණ ඇති අතර අනතුරුව අදට යෙදී තිබූ ගොඩනැගිල්ල විවෘත කිරීම මැතිවරණ කොමිසමේ නියෝගය පරිදි අත්හිටුවනු ලැබිණ.
