පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිටින සියලු මන්ත්‍රීවරුන්ට ඇමතිධුර හිමිවිය යුතු බවත් එසේ නොවන්නේ නම් ජනාධිපතිවරයාට සහය නොදීසිටීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බවත් පසුගිය කාලයේ ඒ ආකාරයට සිතූ අය සතුටු කිරීම සඳහා එකම අමාත්‍යාංශය කෑලි කඩා ඇමතිවරුන් දෙතුන් දෙනා පත් කර තිබූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .
එකම කාර්යය සිදු කරණ අමාත්‍යාංශ කිහිපයක් වෙනුවට ඒ සියල්ල ඒකාබද්ධ කර තනි අමාත්‍යාංශයක් ගොඩනැඟීමට වත්මන් ජනාධිපති වරයා කටයුතු කරමින් සිටින බවත් රටේ අනාගතය ගැන සිතා හෝ ඒ සඳහා සියලු දෙනාගේ සහය ජනාධිපතිවරයාට ලබා දිය යුතුව තිබෙන බවද ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් පවසයි .
ඊයේ (24) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ හැකි තරම් ඇමතිධුර ලබා දී සියලු දෙනා සතුටු කිරීමේ ක්‍රමවේදයට තිත තබමින් ජනාධිපතිවරයා ගෙන යන මෙම වැඩපිළිවෙල පැසසිය යුත්තක් බවයි .
කර්මාන්ත අමාත්‍යාංශය සඳහා එක් ඇමතිවරයෙකු සිටියදී ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්රය වෙනුවෙන් තවත් ඇමතිවරයෙකු පත්කොට තිබෙන බවත් ඒ පිළිබඳව ද අවධානය යොමුකොට එකම විෂය පථය ඇති අමාත්‍යාංශ එක් කොට එක් අමාත්‍ය අමාත්‍යවරයෙකු යටතට පත් කිරීමට ජනාධිපතිවරයා ගේ අවධානය යොමු විය යුතුව තිබෙන බවද පැවසීය .
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේ පැනනැගුනු ගැටළු හා අර්බුද හේතුවෙන් වෛද්‍යවරයෙකු අදාල ඇමති ධූරය දැරීමට සුදුසු බවට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බවත් එම තීරණය සමග තමන් ද එකඟ වන බව කී ඇමැතිවරයා මෙවර ඇමති සංශෝධනයේදී ඇමති ධූර දරන පුද්ගලයන් වෙනස් වුවත් ඇමතිධූර වැඩි වීමක් සිදු වී නොමැති බව ද පැවසීය .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන ආකාරයට විදුලි බිල වැඩි කිරීමෙන් නව ආයෝජකයන් ගෙනඒම කෙසේ වෙතත් සිටින ආයෝජකයින් රඳවා ගැනීමත් ගැටලුවක් වී ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය .