22 වැනි සංශෝධනයට සහාය දුන්නත් රටට හොදම දේ වන්නේ සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනය බවත් එසේ හොද දෙයක් තිබිය දී 22ට සහයෝගය දුන්නේ ගෝඨාභයගේ ඒකාධිපතිවාදය පරාජය කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පොහොට්ටුවේ ඇමති කමිටුවල විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් පසුගිය කාලයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි මානව හිමිකම් කොමිසමේ, මැතිවරණ කොමිසමේ ස්වාධීන සභාපතිවරු ඉවත් කිරීමට උත්සාහ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා එසේ රාජ්‍ය බලය අනිසි ලෙස උපයෝගී කර ගෙන දරදඩු ක්‍රියාමාර්ග ගැනීමට කිසිවිටකත් ඉඩ නොදෙන බවද සඳහන් කළේය.
සමගි ජන බලවේගය නිරන්තරයෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයාගේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බවත් එම සභාපතිවරුන්ගේ රාජකාරියට බාධා නොකර පුළුවන් නම් මැතිවරණයක් තියන ලෙස රජයට අභියෝග කරන බවත් පැවසීය.
සමගි ජන බලවේගයේ දිවුලපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවැසිය.
22 වැනි සංශෝධනයට අත ඉස්සුවේ යහපත් පාලනයක් වෙනුවෙන් මිස මානව හිමිකම් කොමිසමේ සභාපතිනි රෝහිනී මාරසිංහ මහත්මිය හෝ මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා මහතා ගෙදර යැවීමට නොවන බව කී විපක්ෂ නායකවරයා, එවැනි අනීතික කටයුතු සදහා ඉඩ නොදෙන බවත් එවැනි දෙයක් කිරීමට උත්සාහ කළොත් ඕනෑම අවස්ථාවක ජනතාව සමග මහපාරට බසින බවත් පැවසීය.
එසේ ම රාජපක්ෂලාට වහල් වී ගත කළ ජීවිතයෙන් මිදීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ස්වාධීන මිනිසකු සේ මේ රට තුළ ජීවත් වීමට අවශ්‍ය මග හෙළි පෙහෙළි කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තවමත් රාජපක්ෂවරු උත්සාහ කරන්නේ කෙසේ හෝ බලය ලබා ගැනීමට බැවින් එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීම ජනතාවගේ වගකීම බවත් රාජපක්ෂවරු උත්සාහ කරන්නේ ඔවුන්ගේ පවුලේ කෙනෙකු නැවතත් ජනාධිපති කරවීමට බවත් එය නැවතත් රට විනාශ කිරීමට උත්සාහ කිරීමක් බවත් පැවසීය.
ඕනෑම පුද්ගලයකුට වැඩක් කළ නොහැකි කාලයක් එන බවත් ශාරීරික ශක්තිය මානසික ශක්තිය හීන වී ගිය බව අවබෝධ වූ විගස ජනතාව ප්‍රතික්ෂේප කිරිමට පෙර දේශපාලනයෙන් විශ්‍රාම යායුතු බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමාට කිසිම දිනක බලපෙරේත කමක් හෝ බල තන්හාවක් නොමැති බවයි.
මේ මොහොත වන විට රටේ උද්ධමනය, ජීවන බර, මන්දපෝෂණය, කුසගින්නේ හා බඩගින්නේ සිටින ජනතාව ඉහළ යන බවත් රටේ සමස්ත ජනතාව දුක් විදින බවත් එවැනි තත්ත්වයක් පවතිද්දී ආණ්ඩුව ආර්ථිකය, ඉල්ලුම හකුලන බවත් පැවසීය. ආර්ථිකය සහ ඉල්ලුම හකුලා ජන ජීවිත විනාශ කරමින් බංකොලොත්භාවයෙන් එළියට එන්නට උත්සාහ කරන බවත් එය වැරදි ක්‍රියාවක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා , 1988 කාලයේ රට තුළ යුද්ධ 2ක් පැවතියත් කොන්ද කෙළින් තියාගෙන ජාත්‍යන්තර සම්බන්ධතා නිවැරදිව භාවිත කරමින් රට ගොඩනැගීමට කටයුතු කළ බව ද පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිවැරදි ගනුවෙනුවක් සිදු විය යුතු වුවත් වත්මන් පාලකයන් දෙනු යන සංකල්පය පමණක් පෙරටු කර ගෙන ගනු යන සංකලපය විකෘති කරමින් බංකොලොත් වූ රට තවත් බංකොලොත් කිරීමට උත්සාහ කරන බවත් මෙය ජාතික ඛේදවාචකයක් බවත් පැවසීය.
ඩොලර් ගෙන එන සංචාරක කර්මාන්තයට, තොරතුරු තාක්ෂණ කර්මාන්තයන්යට බදු ගහන බවත් වත්මන් ආණ්ඩුවේ ස්නායු පද්ධතිය හරියට වැඩ නොකරන අවුල් ජාලයක් බවත් පැවසීය.