නීතිවිරෝධි කටයුකු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට ආණ්ඩුව පසුබට වන්නෙ නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ පසුගිය කාලයේදී කතාබහට ලක්වු එවැනි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැනටමක් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අසාර්ථක අරගලකරුවන් ආණ්ඩුවට එරෙහිවආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බවයි. ජාතික ආණ්ඩුවකට යම් කණ්ඩායමක් එනවා නම් ජනාධිපතිවරයා ඊට සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරුනු ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
ප්රශ්නය - දැන් අපි දකිනවා මේ වෙද්දි ආගම් ප්‍රශ්නයක් විශාල ලෙස ඇදීගෙන එනවා. ආණ්ඩුවක් ලෙස මේකට කොහොමද මුහුණ දෙන්නේ ?
පිළිතුර - මේවා පිටුපස කවුද ඉන්නේ කියලා තේරුම් ගන්න ඕනි. සමාජ අරගලයක් හදලා රට විනාශ කරලා මිනිස්සු මරලා ගෙවල් ගිනි තියලා ජනාධිපතිතුමාව, මහින්ද මහත්තයව මරන්න සැලසුම් තිබුනා. ඒවා පිටුපස කවුද හිටියේ. ඒවාට සල්ලි වියදම් කලේ කවුද? සමාජ අරගලය අසාර්ථක වුනු නිසා දැන් ආගම් අතර අර්බුදයක් ඇති කරන්න යනවා.
මේකත් අසාර්තක වුනාද ජාතිවාද ඇතිකරන්න උත්සහ කරයි. මේවා කාගේ උවමනාවට වෙන දේවල්ද කියලා මාධ්‍යවේදීන් ලෙස ඔබත් හිතන්න. අරගලයේදී වෙසක් එකට කලු කොඩි දානකොට, කලු වෙසක් කූඩු හදනකොට හුරේ දාපු අය අද ආගම වෙනුවෙන් කතා කරනවා. එදා අරගලයේ හිටිය කලාකරුවන් කරපු දේවල් රට දකිනවා.
එතකොට මේවට සල්ලි වියදම් කරන්නේ කවුද? මේ ගැන රට තේරුම් ගන්න ඕනි. ආගමික ප්‍රකාශ කළ කෙනා පමණක් නෙමෙයි සමහර හාමුදුරුවෝ වෙසක් එකට කලු කොඩි දාපු එක හොදයි කිවුවා. ඒවගේ ප්‍රතිඵල එනවා. සිස්ටම් චේන්ජ් කියලා හදන්න ආව අය කොයි වගේ අයද කියලා අද රටට දන්නවා.
මං දැක්කා සමහර අය යු ටියුබ්වලට ගිහින් කියලා තිබ්බා සල්ලි ආව හැටි. ඔතන එක එක අය හිටියා. පාතලේ අය, ගණිකාවෝ, හිටියා. අපි ඕක වේලාසන කිවුවම අපිට දොස් කිවුවා. මට බැන්නා. හැබැයි දැන් ඒ අයට ඒක කියනවා. සිස්ටම් චේන්ජ් එක කියන්නේ මේක නෙමෙයි. රටේ වෙනසක් ඇති වෙන්න ඕනි කියන්නේ ආණ්ඩු වෙනසක් කරන්න නෙමෙයි. ක්‍රමවේදයේ වෙනසක් වෙන්න ඕනි. ඒකට මිනිසුන්ගේ ආකල්පවල වෙනසක් කරන්න ඕනි. මේක තේරුම් ගන්න අවශ්‍යයි. බොරු කියලා වෛරය පතුරවලා කරපු අරගලවල ප්‍රතිඵල අද අපි භුක්ති විදිනවා.
ප්රශ්නය - මේ වන විට මන්ත්‍රීවරයෙක් රත්තරන් සමග අහුවෙනවා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා කිව්වට ආණ්ඩුව මේ වනතෙක් කිසිම පියවරක් අරන් නැහැ නේද?
පිළිතුර - ආණ්ඩුව පැහැදිළිවම ඒ සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න ඉඩ හැරලා තියෙනවා. අපි කාවවත් බේරගන්න ගියේ නැහැ. ඔහු ඡන්දය පාවිච්චි කරද්දි ඒ වගේ වැදගත් යෝජනාවකදී ඡන්දය අපට විරුද්ධව පාවිච්චි කළේ එයාට උදව් නොකරපු නිසා. ආණ්ඩුවක් හැටියට අපි ඒවට උදව් කරන්නේ නැහැ කියන ස්ථාවරයේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ආණ්ඩුවත් සිටිනවා.
ප්රශ්නය - එතුමා කළ ප්‍රකාශ මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට අගතියක් වගේ නේද? මේ සම්බන්ධව මොනවද කියන්නෙ ?
පිළිතුර - එතුමා වැරැද්දක් කළා. එතුමාට දඩුවම් ලැබිල තියෙනවා. දඩුවම් කළ යුතුයි කියන ස්ථාවරයේ අපිත් සිටියා. එයාට නීතිය ක්‍රියාත්මක කරයි. අපි දේශපාලනඥයින්ට කියලා තියෙන්නේ නීතියට ඇගිලි ගහන්න එපා කියලනේ. නීතියෙන් පිට වැඩක් කරන්න අපි මැදිහත් වෙන්නේ නැහැ.