අස්වැසුම ඵලදායී කිරීමට නිර්ණායක සංශෝධනය කරන්න
අස්වැසුම සුභසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය වඩාත් ඵලදායී කිරීම සඳහා පවතින නිර්ණායක සංශෝධනය කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
වර්තමානයේ අස්වැසුම සුභසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින්ට සුදුසුකම් ලබාගැනීම සඳහා පවතින නිර්ණායක 22 හි ගැටලු අවස්ථා රැසක් පැන නැග ඇති බැවින් ඉදිරියේදී තෝරාගැනීමට නියමිත අස්වැසුම ප්‍රතිලාභීන් නව නිර්ණායක යටතේ තෝරාගැනීමට කටයුතු කරන ලෙසට ද නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) 2026.01.08 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු සාකච්ජා විය.
මෙදින 2025.12.15 දිනැති අංක 2467/03 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 24 දරන සුබසාධක ප්රතිලාභ පනතේ 9 වන වගන්තිය යටතේ අස්වැසුම සුභසාධන ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය දීර්ඝ කරගැනීම කාරක සභාවේදී සළකා බලන ලදී.
එහිදී අස්වැසුම යෝජනා ක්‍රමය මගින් ප්රතිලාභ ලබාදුන් සංක්‍රාන්තික, අවධානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු යන කාණ්ඩ වලින් සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ප්රතිලාභ ලබාදීම 2025 අප්‍රේල් මස 30 වැනි දිනෙන් අවසන් වී ඇත. ඒ අනුව අස්වැසුම සුභසාධන ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ යෝජිත නව සංශෝධන මගින් අවධානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු යන ඛාණ්ඩ සඳහා ප්රතිලාභ ගෙවනු ලබන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් පැවසුහ.
කෙසේ වෙතත් අනපේක්ෂිත ආපදාතත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි සමාජ ආර්ථික ගැටලූ සැලකිල්ලට ගෙන 2025.12.31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු අවධානමට ලක්වූ කාණ්ඩය සඳහා ගෙවීම් 2026 ජුනි මස දක්වා දීර්ඝ කිරීමටත් යෝජනා කර ඇති බව එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුහ. තවද අබාධසහිත තැනැත්තන්, වකුගඩු ආධාර ලබන තැනැත්තන් සහ වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් සඳහා ලබාදෙන ආධාර ද ක්‍රියාත්මක වන බව ඔවුහු කාරක සභාවට දැන්වූහ.
මෙහිදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන කාර්ය භාරය පිළිබඳව කාරක සභාව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. පවුල් ලක්ෂ 20 ක්‍රමානුකූලව සවිබලගැන්වීම සඳහා අවශ්‍ය කටයුතු සහ ව්‍යපෘති ක්‍රියාත්මක කරන බව එම නිලධාරීහු පැවසුහ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැටුප් ලබාදීම ඇතුළු පරිපාලනමය ක්‍රියාවලිය සඳහා වාර්ෂිකව වැයවන මුදල පිළිබඳව කාරක සභාව විමසන ලදී. ඒ අනුව දළ වශයෙන් වාර්ෂිකව රුපියල් බිලියන 22කට අධික ප්‍රමාණයක් වැයවන බවත් 2026 වසර සඳහා වැටුප් සහ අදාළ සවිබල ගැන්වීමේ කටයුතු සඳහා රුපියල් බිලියන 27.38 ක මුදලක් වෙන් කර ඇති බවත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ..
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන සවිබලගැන්වීමේ කටයුතුවලට සාපේක්ෂව අතිවිශාල මුදලක් වැටුප් ඇතුළු පරිපාලන කටයුතු සඳහා වෙන්කිරීම කෙතරම් ඵලදායී ද යන්න ප්‍රශ්න කළේය. මේ වනවිට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ ප්‍රජා සවිබල ගැන්වීම් ව්‍යාපෘති පිළිබඳව පසු විපරමක් හෝ සොයා බැලීමක් සිදු කර ඇත්ද යන්න ද කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. ඒ අනුව එවැනි විපරමක් සිදුව නොමැති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන සියලුම සුබ සාධන සහ සවිබලගැන්වීමේ වැඩසටහන් ඇතුළුව අනෙකුත් සියලු සුබ සාධන ව්‍යාපෘති ස්වාධීන ඇගයීමකට ලක්කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, මුදල් අමාත්‍යංශයට නිර්දේශ කරන ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
