අස්වැසුම ප්‍රතිලාභය සඳහා හඳුනා ගත් පවුල් ලක්ෂ 15ක ප්‍රතිලාභීන් ගෙන්, පවුල් ලක්ෂ 8ක් සඳහා මුදල් බැංකු ගත කිරීම අද (28) සිදු කරන බවත්, එම මුදල් තම ගිණුම් තුළින් අඟහරුවාදා හෝ බදාදා දින සිට ලබා ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මෙම ප්‍රතිලාභය ලබා දෙනු ලබන්නේ ජූලි මාසයට අදාලව බවත්, සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් ප්රතිලාභ ලබා ගන්නා ප්‍රතිලාභීන් හට නීති මගින් කටයුතු කර, එලෙස ලබා ගත් එම ප්‍රතිලාභය නැවත රජයට අය කර ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
ඊයේ (27දා) අනුරාධපුරයේ දී පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය මුදල් අමාත්‍යවරයා මේ බව පැවසූ අතර එහිදී, වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
"අස්වැසුම වැඩ පිලිවෙල යටතේ පවුල් ලක්ෂ 20කට ආධාර ලබා දීමට අවශ්‍ය වැඩ කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒ අනුව මේ වන විට අභියාචනා ලක්ෂ 10ක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ වගේම 120,000ක් විරෝධතා ගොනු වෙලා තිබෙනවා. ඒ විරෝධතා සහ අභියාචනා කටයුතු සමීක්ෂණය කටයුතු ආරම්භ වෙලා තිබෙනවා
මේ පවුල් ලක්ෂ 20න් පැහැදිලිවම හඳුනා ගත්ත පවුල් ලක්ෂ 15ක් ඉන්නවා, මේ ලක්ෂ 15 න්, පවුල් ලක්ෂ 8 ක ප්‍රමාණයකට මුදල් මහා භාණ්ඩාගාරයෙන් බැංකු ගත කරන්න අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. මෙයට හේතුව ලක්ෂ 15න් ලක්ෂ 8ක තොරතුරු තමයි මේ වන විට පැහැදිලිවම තහවුරු කර ගැනීමක්, සුභ සාධක ප්රතිලාභ මණ්ඩලය මගින් සිදු කර තිබෙන්නේ,
ඒ වගේම හදුනා ගත්ත ගැටලු කිහිපයක් තිබෙනවා. එකම හැදුනුම්පත් අංකයට අයදුම්පත් කිහිපයක් ලැබී තිබෙනවා. ඒ වගේම බැංකු ගිණුම් වල දෝෂ, බැංකු ශාඛා අංක තහවුරු කර ගැනීමට තිබෙනවා. මේ වෙන විට මේ වැඩකටයුතු සිදු වෙමින් පවතිනවා. තව දුරටත් මේ ගෙවීම් කටයුතු ප්‍රමාද කරන්න බැරි නිසා රජය තීන්දු කලා, අදියර වශයෙන් තහවුරු කර ගැනීම සිදු උනාට පස්සේ මේ ගෙවීම ආරම්භ කරන්න. ඒ අනුව තමයි තෝරා ගත්ත ලක්ෂ 15න් පළමු පවුල් ලක්ෂ 8කට මුදල් ප්රතිලාභ හෙට බැංකු ගත කිරීම සිදු කරන්නේ.
ඉන් පස්සේ, අඟහරුවාදා හෝ බදාදා සිට ප්‍රතිලාභීන් හට ඔවුන් ලබා දී ඇති බැංකු ගිණුමෙන් එම මුදල් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව තහවුරු කර ගැනීම සිදු වූ වහාම අපි ඉදිරි කණ්ඩායම් සඳහා ද ගෙවීම් සිදු කරන වැඩ කට යුතු සිදු කරනවා. එම මුදල් මේ වෙන කොට වෙන් කරලා තිබෙනවා. ඒ වගේම අභියාචනා සහ විරෝධතා සමීක්ෂණය අවසන් වූ වහාම, ඒ අයටද ගෙවීම් කටයුතු සිදු කෙරෙනවා.
මේ ගෙවීම් සිද්ධ වෙන්නේ ජූලි මාසයට අදාලවයි, විශේෂයෙන් බොහෝ තැන්වල විවිධ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වුණා, මේ අවුරුද්දෙ ජූනි දක්වා පැරැණි ක්‍රමයට සුභ සාධක දීමනා ගෙවලා තිබෙන බවත්, අලුත් ගෙවීම් සිදු වන්නේ මාස කීපයක හිඩැසක් ඇතිව කියලා, එහෙම වෙන්නේ නැහැ. ජූලි මාසයේ සිටම මේ ගෙවීම් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා
ඒත් සමගම අපි මේ වන විට අඩු ආදායම්ලාභී වැඩි හිටි දීමනාව, වකු ගඩු දීමනාව, එවගේම ආබාධිත දීමනාව සඳහා අවශ්‍ය මුදල් සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා දීලා මේ වන විටත් ඒ ගෙවීම් සිදු වෙමින් පවතිනවා.
තවමත් බැංකු ගිණුම් ආරම්භ කර නැති අස්වැසුම ප්‍රතිලාභීන්, බැංකු ගිණුම් වල තොරතුරු ලබා දීලා නැති ප්‍රතිලාභීන්, කඩිනමින් අවශ්‍ය වැඩ කටයුතු සම්පූර්ණ කර යුතු වනවා.
මෙහි ඉතා වැදගත් කාරණය තමයි වසර 28ට පස්සේ තමයි ක්‍රමානුකූලව තෝරා ගෙන කිසිදු බාහිර මැදිහත්වීමක් නොමැතිව විනිවිද භාවයකින් යුක්තව මෙම ප්රතිලාභ ලබා දීම සිද්ධ කෙරෙන්නේ, ක්‍රම වේදය තුල යම් යම් අඩු පාඩු සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒවත් අපි මේ වන විට සකස් කරමින් යනවා.
ඒ වගේම යම් කිසි ප්‍රතිලාභියෙක් වැරදි තොරතුරු ලබා දීලා ප්රතිලාභ ලබා ගන්න කටයුතු කර තිබුනොත්, ඒ අයට විරුද්ධව නීති මගින් කටයුතු සිදු කරන්නත්, වැරදි තොරතුරු ලබා දීලා ප්රතිලාභ අර ගෙන තිබෙනවා නම් ඒ ලබා ගත්ත ප්‍රතිලාභය නැවත රජයට අය කර ගන්නත් කටයුතු කර තිබෙනවා."