බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා චූන් ත්‍රිරෝද රථයක් අසළට පැමිණි වයස අවුරුදු හතර හමාරක කුඩා දරුවෙකු ඔසවා පොළොවේ ගැසූ බව කියන සිද්ධියකට සම්බන්ධ 44 හැවිරිදි සැකකරුවෙක් ජනවාරි 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක මහත්මිය ඊයේ (28දා) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත්තේ දඹුල්ල කණ්ඩලම කැප්පැල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්.පි. අජිත් වර්ණසූරිය නොහොත් සමන්ත නමැති පුද්ගලයකු බව දඹුල්ල පොලීසිය කියයි.
වයස අවුරුදු හතර හමාරක් වූ දරුවෙකු පුද්ගලයකු විසින් පොළොවේ ගසා තුවාල සිදු වීමත් සමඟ මෙම දරුවා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව රෝහලේ වෛද්‍යවරු විසින් මෙම දරුවා පිළිබඳව දඹුල්ල රෝහල් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂණයක් සිදුකොට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මව සහ පියා මෙන්ම දරුවාගේ සීයා සමග කණ්ඩලම ප්‍රදේශයේ නිවසේ රැඳී සිටින අවස්ථාවේ මාර්ගයේ චූංපාන් ත්‍රිරෝද රථයක හඬ ඇසී මෙම කුඩා දරුවා තම සීයාගෙන් බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලාගෙන මාර්ගය අසළට දිව ගොස් ඇති බවය.
පසුව එම ස්ථානයේ බීමතින් සිටි අයෙකු මෙම කුඩා දරුවාට බැන වැදී චුන් පාන් ගැනීමට මුදල් කොහේදැයි විමසා එකවරම ඔසවා පොළොවේ ගැසූ බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ.