කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල සිට අපහසුතාවකින් තොරව සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.
ඒ යටතේ දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයුම් මැදිරියක් මෙම කාලය තුල ක්‍රියාත්මක වේ. බස් සේවාවේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම පිණිස ජංගම නිරීක්ෂණ නිලධාරීන් සේවයේ යොදවනු ලැබේ. අලුත් අවුරුදු සමයේ බස්රථ වල ඇතිවන තදබදය අඩු කරගැනීමට බස් සංචිතයක් පවත්වා ගැනේ.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දිනක ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා කොළඹ නගර සභාව යන ආයතනවල උසස් නිලධාරීහූ ඊට සහභාගී වූහ.
අලුත් අවුරුදු මගී ප්‍රවාහන සේවාවේ අදියර දෙකකි.පළමු අදියර 2022 අප්‍රේල් 08 සිට 15 දක්වා වේ.කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයේ බස් සේවා සඳහා ඉල්ලුම වැඩි වුවහොත්, බස් හිමියන් වෙත නොමිලයේ තාවකාලික මගී සේවා අවසරපත්‍ර නිකුත් කරනු ලැබේ. මගීන්ගේ ආරක්ෂාව, ආහාරපාන හා සනීපාරක්ෂාව ඇතුලු පොදු පහසුකම් නොඅඩුව සලසනු ඇත..
කඩවත,කඩුවෙල බස් පර්යන්තයන්වල හා මා කුඹුර බහුවිධ හුවමාරු මධ්‍යස්ථානයේද මෙම කාල සිමාව තුල ඉහත සේවා සහ පහසුකම් සපයයි.
දෙවන අදියර යටතේ නැවත කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලට පැමිණීමේදී ගාල්ල, මාතර, ඇඹිලිපිටිය, මොණරාගල, බදුල්ල, හැටන්, මහනුවර හා නුවරඑළිය බස් පර්යන්ත වල මගී ඉල්ලුමට සරිලන පරිදි තාවකාලික බලපත්‍ර මත බස් සේවා යෙදවීමට සැලසුම් කර තිබේ.