පසුගිය වර්ෂයේදී ප්‍රතිසංස්කරණය කරන ලද වැව් 487ක ජල ධාරිතාවය පෙර පැවැති තත්ත්වයට වඩා අක්කර අඩි 10,000කින් මේ වනවිට ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මෙම ජල ධාරිතාවය යෝදකණ්ඩිය ජලාශයේ සමස්ත ජල ධාරිතාවයට සමාන වන බවත් එසේම තිසාවැවේ ජල ධාරිතාවය මෙන් 05 ගුණයක ඉහළ යාමක් වන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති දේශගුණික සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය පෙන්වා දෙයි.
මේ අතර මෙම වසරේ යල කන්නයේදී දැඩි නියඟ තත්ත්වයකට යළි මුහුණපෑමට සිදුවෙන බවට කාලගුණික අංශ විසින් සිදුකර ඇති පුරෝකථන සැලකිල්ලට ගනිමින් මෙම වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා ගොවීන් දැනුම්වත් කිරීමට නියමිතය. එසේම මෙම ජලය යොදා ගනිමින් බඩඉරිඟු, කව්පි සහ මුං ඇට වැනි අතුරු භෝග වගාවට ගොවීන් උනන්දු කරවන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
දේශගුණික සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 6,500ක් වැය කරමින් 2023 වසරේදී දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක වසර ගණනාවකින් කිසිදු ප්රතිසංස්කරණයකට ලක් නොකළ කුඩා පරිමාණ වැව් 487ක් ප්‍රතිසංස්කරණය කරන ලදී.
ඒ අනුව මෙම වසර තුළද කුඩා පරිමාණ වාරි පද්ධති ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 6,000ක් වැය කිරීමට එම ව්‍යාපෘතිය විසින් සැලසුම් කර තිබේ.