වන අලින් ගම්වැදීමට පිළියමක් ලෙස වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබෙන විදුලි වැටක සවිකර තිබූ ලක්ෂ හතරක් පමණ වටිනා එනජයිසරයක් (විදුලි ධාරාව අඩු කර, කඩින් කඩ ලැබීම සලස්වන යන්ත්රයක්) සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව විලච්චිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ යාය 6, දකුණු ඉවුර, පේමඩුව ලිපිනයේ පදිංචි සිවිල් ආරක්ෂක සෙබළුන් දෙදෙනකු සහ ගොවිතැනේ නිරත සැකකරුවකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බව පොලීසිය කියයි.
විලච්චිය පොලිස් වසමේ මන්නාරම් හන්දිය, දෙගැහැව ප්රදේශයේ විදුලි වැටට සවිකර ඇති වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් 364000ක් වටිනා එනජයිසරයේ ආරක්ෂාව සඳහා මෙම සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් දෙදෙනා රාජකාරියේ යොදවා සිටින අතරවාරයේදී, එය සවිකර තිබූ කාමරයේ ඉදිරිපස දොර කඩා කිසියම් අයෙකු හෝ පිරිසක් මෙම සොරකම සිදු කර ඇති බව පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරියකු විසින් මහවිලච්චිය පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී, එහි ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් සුළු වේලාවකට එම ස්ථානයෙන් පිටව වූ අවස්ථාවේදී මෙම සොරකම සිදුව ඇති බව අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙම සොරකම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්ගේ යම් අනු දැනුමක් ඇතිවූ බවට අනාවරණය වන බැවින් සහ තුන්වන සැකකරු වන ගොවිතැනින් ජීවත් වන පුද්ගලයා මේ ආසන්නයේ පදිංචි කරුවෙකු වන බව ඇතුළු තොරතුරු කිහිපයක් අනාවරණය වීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මහවිලච්චිය පොලීස් නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.