පොලොන්නරුව අරලගංවිල 503 කුඩාඔය අමුණේ සිට 503 කුඹුරු යායට ජලය රැගෙන යන බෝක්කු බටයක් තුල අද (08දා) උදෑසන මාස 7ක පමණ අලි පැටවෙකු සිරවීමෙන් මියගොස් ඇති බව වෙහෙරගල වනජීවී නිළධාරීන් පැවැසූහ.
එම අලි පැටියා තවත් අලි රෑනක් සමග කුඹුරුයායේ හත්වෙනිදා උදෑසන සැරිසරමින් සිට ඇති අතර අලි පැටියා ඇළට වැටීමත් සමග ඇතින්න අලි පැටියා බේරා ගොඩට ගැනීමට උත්සාහ දැරීවුද ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් බෝක්කුවක සිර වූ බව ගොවි මහතෙකු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විජයබාපුර මහවැලි කොට්ඨාශය කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විජයබාහුපුර මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිළධාරීන් කිහිපදෙනෙකු, වනජීවීන් නිලධාරින්ද දැනුවත් කර එම අවස්ථාවට ගොස් අලිපැටියා බෝක්කුබටෙන් ගොඩගැනීමට පැය කිහිපයක් උත්සාහ දැරුවද එයා අසාර්ථක වීමත් සමග පැය කිහිපයකට පමණ පසු අලිපැටියා මියගිය බව මහවැලි අධිකාරියේ නිලධාරියකු සඳහන් කළේය.
වෙහෙරගල අඩවි ආරක්ෂක ඩබ්ලිව්.ජී. වීරසේන මහතා සඳහන් කළේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතා මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් කර ඇති බවත් ඒ මහතා පැමිණීමෙන් පසු අලිපැටියා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අවසන් කටයුතු කිරීමට කටයුතු කරන බවයි.
මනම්පිටිය නිමල් ජයරත්න

