අම්පාර දමන පොලිස් බලප්‍රදේශයේ අලහේන ගම්මානයේ පිහිටා තිබෙන වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා එහි තිබූ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරන ද්‍රව්‍ය පැහැරගෙන ගොස් ඇති බව අම්පාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
දැනට ලැබී ඇති තොරතුරු අනුව ජෙල් කූරු කිලෝ 45ක්, සේවා නූල් මීටර 10 ක්, කැරැලි 25ක් ඩෙටනේටර් 4100ක් පැහැරගෙන ගොස් ඇත.
පෞද්ගලික ගල් මෝල් හිමියන්ගේ වෙඩි බෙහෙත් ගබඩා මෙම ස්ථානයේ ඇති අතර, මෙම වෙඩි බෙහෙත් ගබඩාවල ආරක්ෂාවට පොලිස් මුරපොළක්ද පිහිටා තිබේ.
මෙම වෙඩි බෙහෙත් ගබඩාවල එක යතුරක් දමන පොලිස් ස්ථානයේ ඇති අතර, අනෙක් යතුර එහි අයිතිකරු සතුව තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම ගබඩා තුනේම ඉබ්බන් කඩා ඇති බව විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
දැනට පොලිස් කණ්ඩායම් 05ක් හා පොලිස් නිල සුනඛයන්ද යොදවා මෙහි පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම වෙඩි බෙහෙත් ගබඩාව පිහිටා තිබෙන ප්‍රදේශය අවට පොලීසිය යොදවා විශේෂ මෙහෙයුමක්ද අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතාගේ නියෝග මත සිදුකරනු ලැබීය.
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝගය පරිදි, අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අම්පාර කොට්ඨාස 1 භාර පොලිස් අධිකාරී සනත් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් දමන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් කුමාර අලගියවන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අම්පාර - වසන්ත චන්ද්‍රපාල