ඉදිරි මාස හය ඇතුළත වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රටට හැකිවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රට තුළ ඇති සියලු ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවත්, මේ රට පවතින අර්බුදයෙන් ගොඩ ගත හැක්කේ වත්මන් ආණ්ඩුවට පමණක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
යහපාලනයට මුවා වී රට විනාශ කළ විපක්ෂය ආණ්ඩු බලය ඉල්ලීම තරම් විහිළුවක් තවත් නැතැයි පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා යහපාලන සමයේ ඔවුන් ආණ්ඩු කළ හැටි මුළු රටම දන්නා බව ද පෙන්වා දුන්නේය. රට පාලනය කිරිම කෙසේ වෙතත් විපක්ෂ නායකවරයාට සිය පක්ෂයවත් හරිහැටි පාලනය කර ගත නොහැකි බව පැවසු රණතුංග මහතා ඔහු දන්නේ බොරු කියා ජනතාව රැවටීමට පමණක් බව ද කීවේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (24) කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
“මේ රට 2015 වර්ෂයේ දී යහපාලනය ට භාර දෙන කොට රටේ ආර්ථික වර්ධන වේගය කීයටද තිබුණෙ බලන්න. ආයෙත් 2019 දී අපි රට භාරගන්න බාර ගන්න කොට රටේ ආර්ථික වර්ධන වේගය කීයද බලන්න. ඒ වගේම කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක රටේ ආදායම් නැතිවෙලා වියදම් වැඩි වුණා. ඒ නිසයි මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ආණ්ඩුව විදියට ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳව කනගාටු වෙනවා . මේ වගේ තත්වයක් ඇතිවෙන බව අපි ජනතාවට කිව්වේ වසර දෙකකට කලින්.
ජනාධිපතිතුමා පත් වුණු ගමන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්න එපා කිව්වා. පර්මිට් වලට වාහන ගන්න ලෑස්ති වෙන්න එපා කිව්වා. අත්‍යවශ්‍ය භාණ්ඩ හැර අනෙක් දේවල් ගෙන්වීම නතර කළෙත් මේ තත්ත්වය ඇතිවීම පිළිබඳව අවදානමක් තිබුණු නිසයි. අපිට රටක් විදියට මේ වගේ තත්ත්වයක හරි රැඳිලා ඉන්න පුළුවන් වුණෙත් ඒ නිසයි.
නැත්නම් මේ වන විට ඉන්ධන නැතිවෙලා. අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය නැතිවෙලා. අප්‍රේල් මාසේ වෙනකල් ගෙවීම් කරන්න තිබෙනවා. එතනින් පස්සේ හොඳ තත්වයක් ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා.
විපක්ෂයට රට බාර දුන්න නම් කරන හැටි පෙන්වන බව කියනවා. යහපාලන ආණ්ඩුව කාලයේ හරියට කරන්න තිබුණා. විපක්ෂ නායකවරයා ඒ කාලේ කැබිනට් ඇමතිවරයෙක්. ඒ නිසා මිනිස්සුන්ට බොරු කියලා රවට්ටන්න එපා. ආණ්ඩුව ජනතාවට බොරු කියන්නේ නැහැ.
සමහරු සල්ලි තිබුනත් කන්න බොන්න නැහැ කියනවා. එහෙම වුණේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම නතර කරපු නිසයි. ඒ විදිහට නොකළා නම් මීට වඩා තත්ත්වය දරුණුයි.
2019 දී අපිට රට භාර දෙන කොට රටේ ආර්ථිකය කඩන් වැටිලා. මහ බැංකු හොරකම එක්ක ආයෝජකයෝ අපේ රටට ආවේ නැහැ. රට පිළිබඳ විස්වාසය නැති වෙලා තිබුනේ.
තමාගේ පක්ෂයවත් හසුරවගන්න බැරි කෙනෙක් රටක් කරන්නේ කොහොමද.
මහබැංකු වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනව. මිනිස්සු නීතිය හරියට ක්‍රියාත්මක කරන එක අපෙන් බලාපොරොත්තු වුණා. යහපාලන කාලේ වගේ විරුද්ධ මතදාරීන් හිරේ දාන්න අපිට බැහැ.”
