ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පුරු නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පුරූ නීතිපති දෙපාර්තමෙන්තුව අද (08) නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාට දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි , ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය තහවුරු කළාය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලමින් ඒ සඳහා උදර්පන නීතිය යටතේ අවශ්‍ය පිටු 21,000 කින් පමණ සමන්විත ගොනු ඇතුලත් නීතිමය ලේඛණ අඩංගු ගොනු නීතිපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් සිංගප්පුරූවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවන ලඳුව එහි නිලධාරීන් විසින් මීට පෙර අවස්ථාවක සිංගප්පූරු රජයට භාර දෙන ලදී.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කිරිමට ලංකාණ්ඩුවට අවකාශ ලැබී ඇත.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට පාඩු සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශ ගතවු අතර ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් නොලැබිණි.
ඉන් වසර කිහිපයකට පසු නීතිපතිවරයා විසින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.
එම නඩුව විභාගයට ගත් පළමු ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ සම්පත් විජේරත්න (සභාපති විනිසුරු සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් විසින් අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලදී.
එලෙස වරෙන්තු නිකුත් කිරීමත් සමඟ අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින විත්තිකරුවකු සිය රටට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතිය යටතේ අවශ්‍ය මුලික කරුණක් සම්පුර්ණ වීමෙන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීමට සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍ය ලේඛණ ආදිය නීතිපතිවරයා විසින් සකස් කරන ලදී.
ඒ සඳහා පිටු 21,000 කින් යුත් ලේඛණ අඩංගු ගොනු සකස් කළ නීතිපතිවරයා සිංගප්පූරු රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතිමය ලේඛණ අඩංගු ගොනු නීතිපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට හා ආරක්ෂක අමාත්‍යංශයට භාර දෙන ලදී.
එලෙස භාරදුන් ගොනු විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පූරු රජයට ඉදිරිපත් කොට මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරුවකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කොට එවන ලෙස උදර්පන නීතිය යටතේ මීට පෙර අවස්ථාවක සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කොට තිබිණි.
ඒ අනුව එම පියවරයන් සම්පුර්ණ කිරීම සඳහා මේ වන විටත් ක්‍රමානුකූලව පියවර ගෙන ඇතැයිද ඒ අනුව නීතිපතිවරයා විසින් සකස් කරන ලදුව විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් සිංගප්පුරුවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවනු ලැබු නීතිමය තත්ත්වයන් හා ලිපි ඇතුලත් ගොනු මෙලෙස සිංගප්පූරු රජයට භාරදී තිබිණි.
ඒ අනුව ඒ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පුරු නීතිපති දෙපාර්තමෙන්තුව නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.
