මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී සොයාගත්, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගය අද (06) දිනයේ රස පරීක්ෂකවරයා නිරීක්ෂණය කිරීමට නියමිතයි.
රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මෙහිදී සොයාගැනුණු අතර, බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සඟවා තිබූ මෙම රසායනික ද්‍රව්‍ය ඊයේ (05) සොයා ගැනුණි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බව බැකෝ සමන් හෙළිකර ඇති බව පොලිස් විමර්ශන නිලධාරීන් කියයි.
මේ අතර මෙම රසායනික ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා විසින් තබාගෙන සිට ඇති බවයි අනාවරණය වී ඇත.
ඔවුන් දෙදෙනා මේ වනවිට පළාගොස් ඇති බවයි පොලිසිය පවසයි .පසුගියදා බැකෝ සමන් මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ඒමත් සමඟ බිය වූ අදාළ සහෝදරයන් දෙදෙනා වෙනත් ස්ථානයක ගබඩාකර තිබූ මෙම රසායනික ද්‍රව්‍ය තොගය බූම් ට්‍රක් රථයක් යොදාගෙන මෙම ඉඩමට ගෙනැවිත් වළදමා ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.
එලෙස වළ දමූ ස්ථානයට ඊයේ (05) දිනයේ දී කොන්ක්‍රීට් දැමීමට සූදානම්ව සිට ඇති බවට ද පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
මෙම රසායන ද්‍රව්‍ය භාවිත කරමින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් පමණ සැකසීමේ හැකියාව පවතින බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කරයි.
බෙලිඅත්ත- කවීෂා ගරුසිංහ / ඡායාරූප ලාල් එස් කුමාර
