පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව දැනුම්දීමට ඉදිරි දින 14 තුළ සියලුම ගොවීන්ට අවස්ථාව ලබාදී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඉන් අනතුරුව සිදුකරන වගා හානි තක්සේරු කිරීම් අනුව, හානියට පත් වගාවන් සඳහා හෙක්ටාරයකට උපරිම රුපියල් ලක්ෂ 1ක් දක්වා වන්දි මුදල් ලබාදීමට නියමිතය.
අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයේ තම වගා හානි සම්බන්ධයෙන් වාර්තා කරන ලෙස ගොවීන්ට දැනුම්දී ඇත.
වී, බඩ ඉරිඟු, අර්තාපල්, සෝයා, මිරිස් සහ ලොකු ලූණු වගාවන් සඳහා මෙම වන්දි මුදල් ලබාදෙන බව එම මණ්ඩලය සඳහන් කරයි.
මෙම වැඩසටහන යටතේ ගොවීන්ගෙන් කිසිදු රක්ෂණ වාරික මුදලක් අයකර නොමැති අතර, රජය විසින් නොමිලේ රක්ෂණ ආවරණය යටතේ වන්දි මුදල් ලබාදීම සිදුකරනු ලබයි.