අයහපත් කාලගණයෙන් අනුරපුර අයෙක් මරුට
දින ගණනාවක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාපතනයත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව පවුල් හාරසීයක පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවත්, අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර පුදබිම වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් වඩා සැලකිලිමත් විය යුතු බවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (27දා) දහවල් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලොකු කුඩා සියලු වැව් පිටාර මට්ටමට පැමිණ තිබෙන බවත් කලා වැව රාජාංගනය නාච්චාදුව ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් බොහෝමයක් මාර්ග ජලයෙන් යටවී ඇති බව දිසාපතිවරයා සඳහන් කළේය.
දිස්ත්‍රික්කයේ පවුල් හාරසීයක පුද්ගලයන් දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව තිබෙන බවත්, අවතැන් වූ අයවලුන් සඳහා සුරැකුම් මධ්‍යස්ථාන අටක් ස්ථාපිත කර අවතැන් වූ එම පුද්ගලයන් සඳහා පිසු ආහාර ලබා දීම සිදු කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.
ආපදාවට සහ බලපෑමට ලක්ව තිබෙන නිවාස වලට වියළි ආහාර ලබා දීම සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මැදිහත්වීමෙන් පළාත් පාලන ආයතන ඒකාබද්ධව ආරක්ෂක අංශ වල සහාය ඇතිව එම වැඩ කටයුතු සිදු කෙරෙමින් තිබෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
දිස්ත්‍රික්කයේ ලොකු කුඩා වැව්වල තත්ත්වය මහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙන අතර අවශ්‍ය වුව හොත් අවදානම් මට්ටමක පවතින වැව්වල ජල මට්ටම අඩු කිරීමට පියවර ගන්නා බවද විමලසූරිය මහතා පැවසීය.
ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මල්වතු ඔය දෙපස සිටින ජනතාවට යම් බලපෑමක් සිදුව ඇති බවත් මහවිලච්චිය වැව පිටාර ගැලීම හේතුවෙන් සැලකිය යුතු පවුල් සංඛ්‍යාවක් බල පෑමට ලක්ව ඇති බව සඳහන් කළ දිසාපතිවරයා මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ගය හරහා වැටී තිබූ ගසක ගැටීමෙන් යතුරු පැදිකරුවකු ජීවිතක්ෂයට පත්වූ බවද සඳහන් කළේය."
අධික වර්ෂාපතනයත් සමග දැදුරුඔය පිටාර ගැනීම හේතුවෙන් අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගය ඇල්ල ප්‍රදේශයෙන් වසා දමා තිබූ අතර, එම මාර්ගය අඩි හයකට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටව තිබුණි.
කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන මඩකලපුව දුම්රිය, කලා වැව දුම්රිය ස්ථානය දක්වා පමණක් ගමන් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් රාජාංගනය වම් ඉවුර සහ දකුණු ඉවුරේ කලා ඔයට ආසන්න මාර්ග කීපයක් ජලයෙන් යටව තිබුණි.
කලා වැවෙන් වාන් දමන ජලය, කලා වැවේ වැ කන්ද මතින් දිවෙන පාලම උඩින් ගමන් කිරීම, හේතුවෙන් එම මාර්ගය වසා දැමුණු අතර එය නැරඹීමට සහ ඡායාරූප ලබා ගැනීමට පැමිණෙන ජනතාව පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ යොදවා තිබුණි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

