ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරි වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එකතුවී තීරණයක් ගන්නා බවත් මෙම අයවැය රටේ ණය බර තවත් උග්‍ර කරන අය වැයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි .
මර්දනය කැඳවන මෙම අයවැය පරජය කිරීම වෙනුවෙන් විපක්ෂයේ සිටින සියළු දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන බවද ඔහු පැවැසීය. මහාචාර්ය වරයා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (15) මහනුවර දී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.
“වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේ සමස්ත වියදම රුපියල් බිලියන 06 කට ආසන්නයි. නමුත් ලැබීමට තිබෙන ආදායම රුපියල් බිලියන 3.5 යි . අයවැය සමබරතාවය ඇති කර ගැනීම සඳහා ඔහු බලාපොරොත්තු වන්නේ ජනතාවට බදු බර දීමෙන් සහ ණය ආධාර අපේක්ෂාවෙන්.
ජනාධිපතිවරයා අයවැය කතාවේදී බරපතළ චෝදනාවක් එල්ල කරනු ලැබුවා බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන. බණ්ඩාරනායක ප්‍රතිපත්තියට අනුවයි මේ රටේ විශාලතම ප්‍රාග්ධන සංචිතය වන අර්ථසාධක අරමුදල ගොඩනැගුණේ. අදටත් දකුණු ආසියාවේ තිබෙන විශාලතම මහජන මුදල් සංචිතය එයයි.
සිංගප්පූරුවේ ලී ක්වාන් යූ 1960 දශකයේ සිංගප්පූරුව නිර්මාණය කරන විට 1956 වසරේදී බණ්ඩාරනායක මහතා මේ රටේ අගමැති වෙලා. සමාජවාදී රාජ්‍ය පද්ධතිය සමග සම්බන්ධතා ගොඩනගා ගෙනයි හිටියේ. එහි වටපිටාව තුළයි ලී ක්වාන් යූ කිව්වේ සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරමු කියා.”
ෂේන් සෙනෙවිරත්න