රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අද (13දා) ඉදිරිපත් කරන අයවැයෙන් අවම වශයෙන් රුපියල් 20,000න් ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති නම් මෙරට ඉතිහාසයේ දරුණුම අරගලයට සමස්ථ වැඩබිම් සේවකයන් එළියට පැමිණෙන බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (12දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් ආනන්ද පාලිත මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"අයවැයෙන් පැහැදිලිව රාජ්‍ය සේවකයා ඇතුළු 58 ලක්ෂයක් ඉක්මවන අර්ධ රාජ්‍ය, වතු සේවක, සමුපකාර, ලංගම ඇතුළු සමස්ථ සේවකයාගේ වැටුප් වැඩි කළ යුතුයි අවමය රුපියල් 20,000කින්. ඇයි අපි ඒක ඉල්ලන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහතා බලය ගන්නකොට ඩීසල් ලීටරය රුපියල් 100යි. අද 356යි. පෙට්‍රල් ලීටරට එදා රුපියල් 137යි. අද රුපියල් 350යි. භූමිතෙල් ලීටරය එදා රුපියල් 70යි. අද රුපියල් 249යි. සහල් කිලෝග්‍රෑම් එකක් එදා රුපියල් 80යි. අද නාඩු සහල් කිලෝව රුපියල් 210යි. සීනි කිලෝග්‍රෑම් එකක් එදා රුපියල් 72යි. අද රුපියල් 260යි. එහෙනම් ජීවත් වෙන්න පුළුවන්ද? සෞභාග්‍යයේ දැක්ම ඇවිත් මේ වෙනකන් රුපියලකින් වැටුප් වැඩි කළේ නෑ.
යහපාලන කාලයේ වතු සේවකයන්ගේ රුපියල් 1,000න් වැටුප් වැඩි කරනවා කිව්වා. රුපියල් 800ක් දක්වා පමණයි වැඩි වෙලා තියෙන්නේ. ඒකත් තේ කිලෝග්‍රෑම් ගාන අනුව. ඊලඟට අයවැය සහන 2015 සහ 2018දී දෙවරකදී රුපියල් 1000ක් සහ 1500ක් වශයෙන් පනතකින් සම්මත කළා. ඒත් ඒක පෞද්ගලික ආයතන ගණනාවක සේවකයන්ට ලැබිලා නෑ. එහෙනම් වැටුප් වැඩි කළ යුතු නැද්ද? විදුලි බිල 420%න් වැඩි කරලා ජල බිලත් වැඩි කරලා තියෙන මොහොතක මේ අයිතිය දිය යුතුයි.
මේ අරගලය එන්නේ වැටුප් වැඩි නොකළොත්. ලංකා ඉතිහාසයේ දරුණුම අරගලයට සමස්ථ වැඩබිම් සහෝදරයෝ එළියට එනවා. ඒක එළියට ගෙන්නලා ආර්ථිකය එළියට වැටෙනවා, සංචාරකයෝ එන්නේ නෑ, නැගගෙන එන විට රට අගාදයට දානවා වගේ කතන්දරවලට එන්න එපා.*