පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (trial at bar) පත් කරන ලදි.
මෙය සමාජයේ මහත් කැළඹීමක් කළ සිදුවීමක් නිසා නඩුව විභාග කිරීම සඳහා ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපතිවරයා ඉල්ලීමක් කර තිබුණි. ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් රශ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන අය කටයුතු කරති.
2022 මැයි මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිට්ටඹුව ප්රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ විත්තිකරුවනන්ට එරෙහිව නඩු පවරා ඇත.
පහරදීම, ඝාතනය කිරීම, ඔවුන් ගමන්ගත් ජීප්රථයට පහරදී රුපියල් මිලියන 45ක ආලාභයක් කිරීම, එම ජීප්රථයේ අමතර රෝදය සහ පැති දොරක් සොරා ගැනීම, පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරල මහතා අතේ පැළඳ සිටි මුදු තුනක් සොරා ගැනීම, ඔහුගේ සාක්කුවේ තිබූ බිරිඳට අයත් ණය කාඩ් පතක් සොරා ගැනීම සහ ඉන් නීතිවිරෝධී අන්දමින් භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නගා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 42 දෙනා අතුරින් විත්තිකරුවන් 37 දෙනකු මේ වන විටත් රිමාන්ඞ් බාරයේ පසු වන අතර තවත් විත්තිකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර ඇත.