ටයර් ටියුබ් හා අමතර කොටස් නොමැති වීම හේතුවෙන් හොඳ තත්ත්වයේ පවතින ලංගම බස්රථ දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ධාවයෙන් ඉවත් කර ඇතැයි ලංගම පොදු සේවක සමිතිය සඳහන් කරයි.
මීට අමතරව අම්පාරේ පිහිටි ටයර් නැවත පුරවන කර්මාන්ත ශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීම නිසි ලෙස සිදු නොකරන බවත්, මේ නිසා එම කර්මාන්ත ශාලාවද වැසී යෑමේ තත්ත්වයට පත්වෙමින් ඇතැයි එම සංගමයේ සභාපති සාගර ධනංජය මහතා සඳහන් කළේය.
අමතර කොටස් හා ටයර් ටියුබ් හිඟවීම නිසා ඩිපෝවල දීර්ඝකාලයක් නවතා තබන බස් රථ පසුව යකඩවලට විකුණා දැමීම සිදුවන බවත්, සමහර අවස්ථාවල කාර්මික දෝෂවලට ලක්වන බස් රථවල අමතර කොටස් ගලවා සුළු කාර්මික දෝෂවලට ලක්වන බස් රථවලට සවිකර ධාවනය කිරීම්ද සිදුවන බවද ඔහු පවසා සිටියේය.