අනුරාධපුර පූජා නගරයේ පිහිටි පාසලක සේවයේ නියුතු ගුරුවරියකගේ නිවස බිඳ, රුපියල් ලක්ෂ 50කට වැඩි රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු එම රන් භාණ්ඩ වලින් කොටසක් සහ යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නාගසේන මාවතේ පදිංචි වයස අවුරුදු 25 සහ 29 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.
මෙම සොරකම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන කරමින් සිටියදී, උප පොලිස් පරීක්ෂක බාලසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි එම පාසල් ගුරුවරියගේ නිවසට දිවා කාලයේ ඇතුළු වී, රුපියල් 50,12000 වටිනා මුදල් සහ රන් භාණ්ඩ සොරා ගෙන කොළඹ ප්‍රදේශයට ගොස් සැඟව සිට ඇති බව පොලිසිය කියයි.
මේ සොරකම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කළ නිලධාරීහු පිරිසක් ගම්පහ ප්‍රදේශයට ගොස් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත්, සොරකම් කරන ලද එම රන් භාන්ඩ වලින් කොටසක්, හෙට්ටි වීදියේ තැරැව්කරුවන් හට විකුණා ඇතැයිද පොලීසිය පවසයි.
අනුරාධපුර නාගසේන මාවතේ සැකකරුවෙකු ගේ නිවසක සඟවා තිබී සොරකම් කරන ලද රන් භාණ්ඩ වලින් වළලු හතරක්, මුහුදු එකක්, කරාබු ජෝඩු හතරක් , රන්මාල දෙකක් , රත්රන් පෙන්ඩන් හයක් ඇතුළු රන් භාණ්ඩ කොටසක් සොයා ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තදින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් වන අතර, මෙම සැකකරුවන් දෙදෙනා හට විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් කොළඹ සහ අනුරාධපුර අධිකරණ මගින් වරෙන්තු 6ක් නිකුත් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි