අනුබුදු දහමින් ලොවම නිවේවා යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන 2333 වන පොසොන් පුණ්‍ය මහෝත්සවයට ලක්ෂ පහළොවක හෝ විස්සක පමණ සැදැහැවතුන් පිරිසක් අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික පොසොන් කමිටුවේ සභාපති සහ අනුරාධපුර මහා දිසාපති රංජිත් විමලසූරිය මහතා සඳහන් කරයි.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ වැඩමවීමෙන් ශ්‍රී මහා බෝධි මහා විහාර පරිශ්‍රයේ ඉකුත්දා පැවති පොසොන් පුණ්‍ය මහෝත්සවය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැත් වූ අවසන් ප්රවෘත්ති සාකච්ඡාවේදී මේ කරුණු අනාවරණය කෙරිණි.
නිවසේ සිටම මේ පින්කමක් වන්දනා ගමනක් ගැන සිතුවිල්ලෙන් අනුරාධපුරයට පැමිණෙන ලෙසටත් සුරා සූදුවෙන් තොරව මේ භූමිය තුළ හැසිරිලා ඒ වගේම වන්දනාකරුවෙකු ලෙසින්ම පසු නිවසටට යන ලෙසටත් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කළහ.
ඒ අනුව පරිසරය සුරක්ෂිත කරන ලෙස උන්වහන්සේ විශේෂ ඉල්ලීමක්ද කළ අතර මෙය සාමූහික කටයුත්තක් ලෙස සලකා කටයුතු කරන ලෙසත් පූජා නගරය අපවිත්‍ර කිරීමේ පාපයක් බවද නාහිමියන් සඳහන් කළහ .එය පරිසරයට මෙන්ම සමාජයට ද සිදු කරන උදව්වක් බැවින් තමන් රැගෙන එන සෑම ද්‍රව්‍යයක්ම නැවත රැගෙන ගොස් පුණ්‍ය භූමිය සුරක්ෂිත කර පින්කමක්ම සිදු කර ගන්නා ලෙසටද ඉල්ලීමක් කළහ.
අමිහිරි වුවත් එක කතාවක් කිව යුතුව ඇති බව සඳහන් කළ අටමස්ථානාධිපති හිමිපාණන් පැවසුවේ මේ රටේ ඉන්න හොරු, ගැට කපන්නන් අනුරාධපුරයට මේ වන විටත් පැමිණ සිටින බැවින් එම නිසා ඔවුන්ගෙන් පරිස්සන් වී සිහි නුවණ ඇතිව කටයුතු කරන ලෙසය, වන්දනා නඩය පැමිණෙන රථ වාහනයේ රියදුරා මත්ද්‍රව්‍ය පානය කර නොපැමිණෙන ලෙසට දැනුම් දෙන ලෙසද සිහිකල්පනාවෙන් වේගය පාලනය කරගෙන එම ගමන පැමිණෙන ලෙසද උන්වහන්සේ බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර සිටියහ.