"කවුරු මොනව කීවත් අපි අවුරුදු පහෙන් යන්න ආව නෙවෙයි. මේ රටේ ජනතාවගේ කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරි අවුරුදු පහ නෙවෙයි ඉදිරි අවුරුදු 10- 15 හෝ ඊටත් වඩා කාලයක් අපි මේ රට පාලනය කරනවා" යැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා බදුල්ලේදී පැවසීය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ‘සැමට නිවහන්’ නිවාස වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් සඳහා නිවාස ආධාර චෙක්පත් ප්රදානය කිරීම සඳහා ඉකුත්දා එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැති වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
“ඉදිරියේදී සමාජය තුළ ලොකු වෙනසක් ඇතිවෙනවා. රජයේ ප්‍රධාන වැඩපිළිවෙල තුනක් යටතේ අපි විශාල සමාජ පරිවර්තනයක් කරන්න බලාපොරෙත්තු වෙනවා. ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා හරහා අපේ රටේ ජනතාවගේ ආකල්ප වෙනස් කරමින් නව සමාජ පරිවර්තනයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඩිජිටල් තාක්ෂණය හරහා අපේ රටේ සියල්ල ඩිජිටල්කරණය කරලා ඉදිරි පරම්පරාවට අවශ්‍ය තාක්ෂණය රටේ පරිපාලන ක්‍රියාවලිය වගේම මේ රටේ ජනතාවගේ ගණුදෙනු මේ සියල්ල පරිගණක පද්ධති තුළට ගේන්න කටයුතු කරනවා. එසේම ග්‍රාමීය දිළිඳුභාවය නැතිකිරීම අනික් වැඩපිළිවෙලයි. ඉදිරි අවුරුදු හතර තුළ මේ තුන් වැදෑරුම් වැඩපිළිවෙල සාර්ථක කරගත්හොත් අපට ඔබට ලස්සනට ජීවත් වීමට සුදුසු රටක් ගොඩනගාගන්න අපට පුළුවන්.
ඒ නිසා කලබල වෙන්න එපා. අපි මේ රට ක්‍රමානුකූලව ගොඩනඟනවා. කවුරු මොනව කීවත් අපි අවුරුදු පහෙන් යන්න ආව නෙවෙයි. අපි තව බොහෝ කල් මේ රට පාලනය කරනවා. මේ රටේ ජනතාවගේ කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරි අවුරුදු පහ විතරක් නෙවෙයි ඉදිරි අවුරුදු 10- 15 නෙවෙයි ඊටත් වඩා කාලයක් අපි මේ රට පාලනය කරනවා. ඒ පාලනයේ පළමු අවුරුදු 10- 15 අතර රටේ සැබෑ දේශපාලන ආර්ථික පරිවර්තනය සිදුවෙනවා. තාම ඒක ආරම්භ වුණා විතරයි. අපි සංක්‍රාන්ති සමයක ඉන්නේ.
අපි පළමු අවුරුදු 15 සම්පූර්ණ කරන්නේ ඒ සමාජ පරිවර්තනයත් එක්කයි. ඒකට බයවෙච්ච මිනිස්සු ඒකට කලබල වෙච්ච මිනිස්සු තමයි අද තැන් තැන්වල අපිව විවේචනය කරන්නේ. ඉතිහාසයේ අවුරුදු 76 ක පාලන කාලය මේ රටේ අඳුරුතම යුගය වුණා. ලෝකයේ මහා දැවැත්න සමාජ විප්ලව සිදුවෙනකොට දැවැන්ත කාර්මික විප්ලව, දැවැන්ත තාක්ෂණික විප්ලව සිදුවන විට ලෝකය දියුණු වන විට අපේ පාලකයින් රට ගෙන ගියේ අඳුරු යුගයකට. ඒ අඳුරු යුගයෙන් නව ආලෝකයක් කරා යන ගමන දැන් ආරම්භවී තිබෙනවා.
ඒ වගේම මේ රටේ උපදින සෑම කෙනෙකුටම නිවසක අයිතිය ලබාදෙන්න අපි කටයුතු කරනවා. අපට ඡන්දය දුන් නොදුන් සෑම කෙනෙකුටම නිවසක අයිතිය තිබිය යුතුයි කියන හැඟීම අප තුළ තිබෙනවා. නිවසක් වගේම මේ රටේ සෑම පුරවැසියෙකුගේම අධ්‍යාපනය රැකියාව හා ජීවත්වීමේ අයිතිය සහතික කරන රටක් අපි හදනවා. අපි මේ රට භාරගත්තේ ඒකටයි. අපි ඒක කරනවා.” යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
