2022 අප්‍රේල් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් පෙර වසරට සාපේක්ෂව 11.87%ක වර්ධනයක් සමග ඇ.ඩො. මිලියන 915.3ක් ලෙස සටහන් වන බවත්, එය මෙතෙක් අප්‍රේල් මාසයකදී වාර්තා වූ ඉහළම අපනයන අගය බවත් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.
මීට ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්රිත නිෂ්පාදන සහ රබර් ආශ්රිත නිෂ්පාදන අපනයන ඉපැයීම් ඉහළ යාම හේතු වී ඇති අතර, විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික සංරචක අපනයන සහ මුහුදු ආහාර අංශයේ සැලකිය යුතු වර්ධනයක්ද වාර්තා කර තිබේ.
කෙසේ වෙතත්, 2021 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2022 අප්‍රේල් මාසයේදී ඛනිජතෙල් නිෂ්පාදන, විසිතුරු මසුන්, කුළුබඩු හා සාන්ද්‍රිත නිෂ්පාදන, දියමන්ති, මැණික් හා ස්වර්ණාභරණ, එළවළු, පලතුරු සහ මල් හා පත්‍ර අපනයන අංශයන්හි පහළ යෑමක් දැකගත හැකිය.
මෙවර, ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන පසුගිය 2021 වසරේ අප්‍රේල් මාසයේදී වාර්තා වූ ඉහළම අගය වන ඇ.ඩො. මිලියන 799ක් ඉක්මවා ගිය බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා සඳහන් කළේය.
එහිදී සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ, වත්මන් අර්බුදයට කඩිනම් විසඳුමක් අපේක්ෂා කරන අතරතුර, මෙරට අපනයනකරුවන්ට ඉන්ධන සහ බලශක්තිය සැපයීම සඳහා කාර්යක්ෂමව පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.
&අපි එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ වෙළෙඳ පොළ කොටස තහවුරු කරන අතරම, විශේෂිත වෙළෙඳ පොළ කෙරෙහි අවධානය යොමුකළ යුතුයි. ඊට සමගාමීව අපනයන නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමද වැදගත් වෙනවා. එමගින් ශ්‍රී ලංකාව සඳහා අද අපට අත්‍යවශ්‍ය වී ඇති ඩොලර් වැඩියෙන් උපයාගත හැකි කර්මාන්ත ඇති කිරීමට පුළුවන්* යැයි සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.
මේ අතර, 2022 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇ.ඩො. මිලියන 1,188.8ක් වන බවත්, එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 96.2%කින් වර්ධනය වී ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය විසින් ඇස්තමේන්තු කරන ලද සේවා අපනයන ICT/BPM, ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම්වලින් සමන්විත වේ.
ෂමිල පෙරේරා