අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2025.06.18 දින සිය සහතිකය සටහන් කළේය.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත 2025.04.08 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවැනිවර කියවීමේ විවාදය 2025.05.23 දින පැවැත්විණි. අනතුරුව 2025.06.04 වැනිදා මෙම පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත කෙරිණි.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 7 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.
2025 අංක 7 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනතේ ඇතුළත් ප්‍රධාන විධිවිධානය වන්නේ සැකකරුවන් සහ වරදකරුවන්ට පුද්ගලිකව පැමිණීම වෙනුවට දුරස්ථව නඩු විභාගවලට සහභාගී වීමට ඉඩ දීමෙන් අධිකරණ කාර්යවිධාන නවීකරණය කිරීමයි. මහේස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන්ට ආරක්ෂාවට ඇති තර්ජන, මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා, හෝ නිරෝධායනය වැනි අවස්ථාවන්වලදී එම පුද්ගලයන් පෞද්ගලිකවම පෙනී සිටීමෙන් නිදහස් කළ හැකිය. එවැනි අවස්ථාවන්හිදී, නඩු කටයුතු සඳහා අදාළ පුද්ගලයා නීතිඥයෙකු විසින් නියෝජනය කළ යුතු අතර සජීව දෘශ්‍ය සහ ශ්‍රව්‍ය මාධ්‍ය හරහා සම්බන්ධ විය හැකිය.
මෙම පනත මගින් සාක්ෂිකරුවන්ට ඕනෑම ස්ථානයක සිට දුරස්ථව සාක්ෂි ලබා දීමට ද ඉඩ සලසයි. නමුත් පළමු අධිකරණ පැමිණීම්, වධ හිංසා හෝ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ ප්‍රකාශයන්, හෝ මානසික සෞඛ්‍ය ගැටලු සඳහා පුද්ගලයන් පෞද්ගලිකව පෙනී සිටීම අවශ්‍ය වේ.
මෙහිදී කොමසාරිස්වරුන් පත්කිරීම, හඳුනා ගැනීම සහතික කිරීම, සහ ඉලෙක්ට්‍රොනික ලිපිලේඛන සහ වියදම් හැසිරවීම ඇතුළුව දුරස්ථ විභාග සඳහා කාර්ය පටිපාටි හඳුන්වා දෙනු ලැබ ඇත. මෙම පනත නීතිමය ආරක්ෂණ පවත්වා ගනිමින් අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම අරමුණු කරගෙන ඇත.
