හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් මස හත්වන දා ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වන අනුලා රත්නායක ජයතිලක මහත්මිය වෙඩි වැදීමකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව දිස්ත්‍රික් මහරෝහලේදී සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
අනුලා මහත්මියගේ මෘතදේහය 28 දින ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එන ලද අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර දෙන ලෙසට අනුලා මහත්මියගේ ස්වාමිපුරුෂයා වන කැලණිය, ඊරියකැටියේ පදිංචි කැලුම් ප්‍රියදර්ශන වීරසිංහ කටුනායක ගුවන් තොටුපොළ පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් ඉල්ලීමක් කර ඇත. මේ අනුව මෘතදේහය ගුවන් ගමන් බඩු ගම්මානයේ සිට මිගමුව රෝහල වෙත රැගෙනවිත් අධිකරණයට කරුණු වාර්තාකර තිබේ.
වැඩබලන මහේස්ත්‍රාත් පද්මලතා ගිනිගේ මහත්මිය ඉදිරියේ මීගමුව රෝහලේ 28 දින පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී මරණකාරියගේ ස්වාමිපුරුෂයා සහ වැඩිමල් පුතු වන හේසව වීරසිංහ යන දෙදෙනා විසින් මෘතදේහය හදුනාගෙන ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය වරයාට වැඩබලන මහේස්ත්රාත්තුමිය දෙන ලද නියෝගයට අනුව අධිකරණ වෛද්‍ය ඩබ්ලිව්. එස්. එම්. ප්‍රනාන්දු මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත.
මෙම මරණය උස් ස්ථානයකින් ඇද වැටීමකින් හෝ යමක් ශරීරය මතට කඩාවැටීමෙන් සිදුවූ මරණයක් නොවන බවත්, මෘතදේහය තුළ තිබී මුනිස්සම් කැබලි කිහිපයක් සොයාගෙන ගත් බවත්, මෙම මරණය වෙඩි වැදීමකින් සිදුවී ඇති බවත්, මරණයට පෙර කිසිදු ශාරීරික වද හිංසාවකට ලක්වී නොමැති බවත්, සිරුර තුළ තිබී සොයාගත් මුනිස්සම් රජයේ රසපරීක්ෂක වෙත යොමුකරන බවත් අධිකරණ වෛද්‍ය වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
වැඩබලන මහේස්ත්‍රාත් පද්මලතා ගිනිගේ මහත්මිය විසින් ලබාදුන් නියෝගයට අනුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘතදේහය කැලණිය වේවැල්දුව පොදු සුසන භුමියේ භූමදානය කිරීම සදහා මරණ කාරියගේ ස්වාමි පුරුෂයාට බාර දී ඇත.
මීගමුව බර්ටි වීරසිංහ
