අනුරාධපුර පොලිස් වසමේ පොතානේගම ප ප්රදේශයේදී මාර්ගයේ ගමන් කල බස් රථයක මඟ හරස්කර නතර කරවා, එහි ගමන් කල 21 හැවිරිදි තරුණයකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස්, රුපියල් 10000ක මුදලක් කොල්ලකෑ එම තරුණයාගේ මවගේ අනියම් පුරුෂයා ඊයේ (19දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
සිද්ධියට මුහුණ පෑ තරුණයාගේ මව වන මැදවච්චිය ප්රදේශයේ පදිංචි කාන්තාවක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කල බව පොලිසිය කියයි.
පැහැර ගැනීමට ලක්වූ තරුණයා සැකකරුවන්ගෙන් මිදී, පසුව පොලීසියට පැමිණ ප්රකාශයක් ලබාදී තිබු බවද පොලිසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී තරුණයා පැහැර ගෙන ගොස් ඇත්තේ එම තරුණයාගේ මවගේ අනියම් පුරුෂයා බව අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම තරුණයාගේ මව සැකකරු මග හැර ගොස් සැඟව සිටීම හේතුවෙන් එයට පළි ගැනීමක් ලෙස මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර පොතානෙගම පදිංචිකරුවෙකු වන අතර එම සැකකරු අද (20දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මෙම පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර පොලීසියේ නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.