අන්දමන් දූපත් ආශ්රිතව තවත් අඩු පීඩන කලාපයක් හෙට වර්ධනය වෙයි
දිවයින ආසන්නයේ දින කිහිපයක සිට පවතින වායුගෝලීය කැළඹිලි තත්ත්වය ඊයේ (21) වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත්, ඒ හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්ය සාකච්ඡාවට එක්වෙමිනි.
වයඹ දෙසට බරව පැවති අඩු පීඩන පද්ධතිය මේ වන විට බටහිර දෙසට ගමන් කරමින් පවතින බවත්, ඒ සමඟ ඇති වන සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් ඉදිරි දින දෙක තුළ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්යම, උතුරු සහ දකුණු පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලටත් සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් මෙම ප්රදේශවලට කඩින් කඩ දවස පුරා මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව ද ඔහු පැවසීය. බෙංගාල බොක්ක ආශ්රිතව පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් නිර්මාණය වී ඇති බැවින් ඉදිරියේදී වර්ෂාපතනය තවදුරටත් ඉහළ යා හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
හෙට (23) වන විට අන්දමන් දූපත් ආශ්රිතව තවත් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත්, එය තවදුරටත් වර්ධනය වී පීඩන අවපාතයක් බවට පත්විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
එම පද්ධතියෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකළ ද, සුළං ප්රවාහය දිවයින හරහා ගමන් කිරීම හේතුවෙන් නිරිතදිග ප්රදේශවල පවතින වැසි තත්ත්වය මේ මස 27 වැනිදා දක්වා පැවතිය හැකි බව ද අධ්යක්ෂවරයා පැවසීය.
මේ හේතුවෙන් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශවල ධීවර කටයුතුවල නිරත වන පිරිස්, විශේෂයෙන් බහුදින ධීවර යාත්රා පදවන්නන්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.
එසේම, වර්ෂාව සමඟ ඇති විය හැකි අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්ය පියවර ගන්නා ලෙස ද ඔහු ජනතාවට දැනුම් දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

