අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ඊළඟ රංගනයක කොටස්කරුවන් වෙනවට වඩා දේශපාලනයෙන් විශ්‍රාම යන එක සැප බවත් ජනවරමක් නොමැතිව කිසිදු අවස්ථාවක සමගි ජන බලවේගය හෝ සමගි සන්ධානය ආන්ඩුකරනයට එක් නොවන බව ව්පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී පැවසීය .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව අවධාරණය කර සිටියේ අද (26දා) සමගි ජන බලවේගය විසින් සංවිධානය කොට තිබූ මහනුවර සිට කොළඹ දක්වා වූ පා ගමනට එක්වීමට පෙර අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි .
එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය .
අපගේ පක්ෂයේ ප්‍රතිපත්තිය එයයි . එම ප්‍රතිපත්ති සමග සිටිනවාද නැද්ද කියන එක ඒ ඒ පුද්ගලයන්ට තීන්දු කළ හැකියි .වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය නිර්මාණය වුණේ කොහොමද කියලා අපි බලන්න ඕනෑ . හැට නම ලක්ෂයක් වු ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපතිවරයෙකු පත් වී තිබෙනවා .
හැට නම ලක්ෂයක් දෙනා 2020 මහමැතිවරණයේ දී 140 කට වැඩි මන්ත්‍රීආසන සංඛ්‍යාවක් මේ ආණ්ඩුව ලබා දුන්නා .ඉන් පසු සුපුරුදු පරිදි වරදාන ප්රතිලාභ හා වරප්‍රසාද වලට යට වුනු කණ්ඩායමක් නිර්මාණය කර ගෙන ඔවුන්ගේ සහයෙන්සුපුපුරුදු ලෙස තුනෙන් දෙකක සුපිරි බලයක් ලබා ගත්තා .
අපට ජන බලයක් තිබෙන්නේ විපක්ෂයේ කාර්යභාරය සිදු කිරීමටයි .එම නිසා කිසිම අවස්ථාවක ජනවරමක් නැතුව සමගි ජන බලවේගය හෝ සමගි සන්ධානය ආණ්ඩුකරනයකට යන්නේ නැහැ . මේක දේශපාලන සංගීතපුටු තරගයක් නොවෙයි . ඔයාමගේ ඇඳුම අඳින්න මම ඔයාගේ ඇඳුම අඳින්නම් . ඔයා මගෙ තනතුර ගන්න මම ඔයාගේ තනතුර ගන්නම් . අහවලා සභාපති වෙන්න මම අගමැති වෙන්නම් . මෙයාලා තමයි ඇමතිවරු වෙන්නේ . කියලා ආණ්ඩු පිහිටුවන්න අපි සූදානම් නැහැ.
එය පාර්ලිමේන්තුවේ 225 දෙනා සම්පූර්ණයෙන් අපේ රටේ ජනතාව අමතක කරන වැඩපිළිවෙළක්. ව්ශ්වාසභංගයක් හෝ දෝෂාභියෝගයක් කියන්නේ එකක් .ආණ්ඩු බිහිකරනවා කියන්නේ තවත් එකක් .
තරුණ කොටස් සිවිල් සමාජය පිරිස් වැඩිහිටි ජනතාව ගාලුමුවදොරට හා රටේ බොහෝ ප්‍රදේශ වලට රැස්වෙලා කියන්නේ ජනාධිපති අගමැති ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕනෑ කියලයි . ඔවුන් කියනවා හොරු අල්ලන්න කියලා . හොරාකාපු සල්ලි නැවත ගන්න කියනවා . මේ ඇත්තො එක්ක ආණ්ඩු කරන්න ගිහින් ඔය දේවල් කරන්න පුලුවන්ද.
අප මොනම ආකාරයකින්වත් ජනතාව ගාලුමුවදොර කරන ජන අරගලයට ද්‍රෝහී වන්නේ නැහැකියන තිරසාර අරමුණින් අප සිටිනවා . ඩීල් වලින් නොව මහජන ජනවරමින් අපි රට භාරගන්න සූදානම් . ජනතාවට ප්‍රශ්න තිබෙනවා කියලා ඇමතිවරු ඩීල් ගැනීම හරිද . අන්තර්කාලීන ආණ්ඩුවලින් හොරු අල්ලන්න පුළුවන්ද . අන්තර්කාලීන ආණ්ඩුවකින් වෙන්නේ හොරු නොවන අයත් හොරු වීමයි.
අපේ පක්ෂයේ භාෂණයේ නිදහස තිබෙනවා . මේක එජාපය නොවෙයි . තරවටු කරලා ඇඟ බැඳලා හඬ නිහඬ කරන්න අපි සූදානම් නැහැ .අපගේ පක්ෂයේ ප්‍රතිපත්තිය මේකයි .සජිත් ප්‍රේමදාස කිව්වොත් කිව්වොත් කිව්වමයි . වෙනස් කරන්නේ නැහැ . වෙනස් වෙන්න ඕන අයට ඒ සඳහා අවස්ථාව තිබෙනවා .අවසානයේ ජනතා අධිකරණය හමුවට යාමට තිබෙන බව කවුරු කවුරුත් සිහියේ තබාගත යුතුයි .ජන අරගලය තුට්ටු දෙකට වෙන්දේසි කරන්න මම සූදානම් නැහැ .
අන්තර්කාලීන ආණ්ඩුවක් හැදුවා කියලාගෑස් ඉන්ධන කිරිපිටි පෝලිං නැති වෙනවාද . මේ රටේ අන්ධකාරය නැති වෙනවද මේවා සියල්ල අවස්ථාවාදී දේශපාලන කතා යැයි ව්පක්ෂ නායකවරයා පැවසීය.
ෂේන් සෙනෙවිරත්න