යුද සමයේ භාවිතා කිරීමට ගෙන්වන ලද බව කියන අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් තිහගොඩ කෝට්ටවත්ත ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයකුගේ ගෙවත්තේ වල දමා තිබියදී අද (09දා) ගොඩ ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
ඒ අනුව 48 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයා ද පොලීසිය සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබීය.
ඔහුගේ දෙමහල් නිවස පිහිටි ගෙවත්තේ වලවල් දෙකක අඩි 5 ක් පමණ ගැඹුරට කපා එම යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය වල දමා තිබු බව පොලීසිය සදහන් කරයි.
සී ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 03 ක්, ග්රැම් 350 ක්,ග්‍රෑම් 610 ක් බර පුපුරණ ද්‍රව්‍ය බාර් 01 ක්,ග්‍රෑම් 205 බැගින් බර පුපුරණ ද්‍රව්‍ය බාර් 02 ක්,ග්රැම් 105 බර පුපරණ ද්‍රව්‍ය බාර් 01 ක් ,මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 288 ක්,ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 181 ක් ,මිලි මීටර් 3.8 වර්ගයේ ජීව උණ්ඩ 05 ක්,බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 08 ක්,ඉලෙක්ට්‍රොනික් ඩෙටනේටර් 10 ක්, ඉලෙක්ට්‍රොනික් නොවන ඩෙටනේටර් 153 ක්,දුම් බෝම්බයක්, අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කිරීමට යොදා ගන්නා වයර් අඩි 32 ක් ඇතුළු යුධ උපකරණ තොගයක් එහිදී සොයා ගත් බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
ඊට අමතරව සැකකරුගේ නිවසේ තිබී මදන මෝදක ගුලි 153 ක් අඩංගු පැකට් දෙකක් ද සොයා ගෙන ඇත.
2016 වසරේ දී සැකකාර යුධ හමුදා සාමාජිකයා විශ්‍රාම ගොස් තිබෙන අතර ඔහු එල්.ටී.ටී.ඊ.යුධ සමයේ දී මුලතිව් ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරක වසර 05 ක් අවි ආයුධ ගබඩාව භාරව රාජකාරි කර තිබෙන බව ප්‍රශ්න කිරිමේ දී හෙලි වී තිබේ.
එම වකවානුවේ දී ඒවා රැගෙනවිත් වල දමන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
කෙසේ වෙතත් සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගය විශාල හානියක් සිදු කිරීමට තරම් ප්‍රමාණවත්ව තිබු බව පොලීසිය සදහන් කරයි.
වෙනත් අපරාධ සදහා ඒවා යොදා ගත්තේ ද යන්න සොයා ගැනීම සදහා සැකකාර යුධ හමුදා සාමාජිකයා අධිකරණය වෙත ඉදිරිපත් කොට රැදවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මිරිස්ස කදවුරේ නාවික හමුදා බුද්ධි ඒකකයේ බුද්ධි නිලධාරියෙකුට ලද තොරතුරකට අනුව මාතර මූලස්ථාන පොලිසිය මෙම වැටලීම සිදු කර තිබුණි.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
