මැල්සිරිපුර පොලීසිය අසාධාරණ චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවට චෝදනා කරමින් පුද්ගලයෙකු අද (18දා) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහල මතට නැඟ පොලීසියට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරත වූහ.
වයස අවුරුදු 50 ක් පමණ වන පුද්ගලයෙකු මෙසේ විරෝධතාවයක නිරතව සිටි අතර ඔහු මත්පැන් පානය කර ඉන් පසුව අධිකරණයේ වහල මතට ගොඩවූ බව සිද්ධිය දුටුවෝ පැවසූහ. ඔහු අධිකරණ වහල මත එහා මෙහා යමින් විවිධ දේ ප්‍රකාශ කරමින් හැසිරුනේය.
කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන අංශයේ නිලධාරීන්ද සමඟ එක්ව පොලිස් නිලධාරීන් අනතුරුදායක බෑවුම් සහිත වහලෙන් ඔහු බස්සවා ගැනීම සඳහා උත්සාහයක යෙදී සිටින ආකාරයද දැකගත හැකි විය.
මොහු පැය දෙකකට ආසන්න කාලයක් වහලය මත රැඳී සිටි අතර පසුව පොලිස් නිලධාරීන් කීප දෙනෙකු වහලට නැඟ ඔහු මෙල්ල කර ගිනි නිවීම් අංශයේ නිලධාරීන්ගේද සහායෙන් ඔහු පහළට රැගෙන පැමිණියහ. ඔහු ඒ වන විටත් අධිකරණ සංකීර්ණයේ වහළ මත තිබූ උළු රැසක්ද ගලවා තිබූ බව පොලීසිය සඳහන් කළේය.
තමන්ට නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් නිකරුණේ නඩුවක් ගොනු කර තිබූ බව ඔහු මැල්සිරිපුර පොලීසියට එල්ල කරන චෝදනාවවේ. මෙම සිද්ධිය දැක ගැනීම සඳහා විශාල පිරිසක්ද අධිකරණය ඉදිරිපිට රැස්ව සිටියහ.
මේ සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසියේ නිලධාරියෙකු සඳහන් කළේ රථවාහන නඩුවක් සම්බන්ධයෙන් වැරැදිකරු වීම හේතුවෙන් මෙම පුද්ගලයාට අධිකරණය මඟින් මීට පෙර දඩ මුදලක් නියම කර ඇති බවය. ඊට අමතරව නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන්ද මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණයෙහි විභාග වන නඩුවකට පෙනී සිටිය යුතු අවස්ථාවක මොහු පොලීසියට අසත්‍ය චෝදනා එල්ල කරමින් මේ ආකාරයට හැසිරෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම සිද්ධිය අධිකරණයේ කටයුතු වලටද බාධාවක් ඇති කළේය.
මෙම පුද්ගලයාගේ මවද මෙම ස්ථානයට පැමිණ සිටි අතර මොහු කිසියම් මානසික රෝගයකින් පෙලෙන අයෙකු බවද කියයි. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

