කොළඹ අළුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින අබලන් තත්වය හා ඉඩ කඩ ප්‍රමාණවත් නොවීමට විසදුම් වශයෙන් සහ නවීණ තාක්ෂණයෙන් මෙන්ම නව පහසුකම්වලින් යුත් අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් යුතුව මේ වන විට වැඩ කටයුතු ආරම්භ කර ඇති අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයේ ඉදි කිරීම් කඩිනම් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ජනාධිපති නිතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
කොළඹ අලුත්කඩේ, අධිකරණ මාවතෙහි ඉදි කරනු ලබන අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයේ ඉදි කිරීම් පිළිබදව විශේෂ නිරීක්ෂණ චාරිකාවක ගරු අධිකරණ අමාත්‍යවරයා අද (03දා) නිරත වු අතර, එහිදී මෙම උපදෙස් ලබාදීම සිදු කළේය.
මේ වන විට ඉදි කරමින් පවතින සියලු ඉදි කිරීම් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වු අතර ඉදි කිරීම් කටයුතු සිදු කිරීමේදී පවතින බාධාවන් පිලිබදව නිලධාරීන්ගෙන් කරුණු විමසමින් ඒ සදහා අවශ්‍ය විසදුම් ලබාදීම සිදු කරන ලදී.
අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණ ඉදි කිරීම සදහා අක්කර 06 ක ඉඩමක් වෙන් කර ඇති අතර මහල් 14 කින් යුත් අධිකරණ ශාලා 40 කින් සමන්විත මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ලක්, මහල් 14 කින් යුත් දිසා අධිකරණ හා මහාධිකරණ ගොඩනැගිලි සංකීර්ණයක් ,මහල් 14 කින් යුත් අධිකරණ අමාත්‍යාංශය ඇතුළු ආයතන ස්ථාපිත කිරීම සදහා ගොඩනැගිලි සංකීර්ණයක් හා මහල් 14 කින් යුත් විනිසුරු පුහුණු මධ්‍යස්ථානය, නව නීති මධ්‍යස්ථානය, විනිසුරු නිල නිවාස ඇතුළු පහසුකම් සපයමින් ගොඩනැගිලි සංකීර්ණයක් වශයෙන් මෙහි ගොඩනැගිලි සංකීර්ණ හතරක් ඉදි කිරීමට නියමිතව තිබේ.
මේ වන විටත් ගොඩනැගිලි සංකීර්ණ තුනක වැඩ ආරම්භ කර ඇති අතර , මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය මෙහි ඉදි කිරීම් කටයුතුවලට උපදේශකත්වය ලබා දෙයි.
අධිකරණ පියස ව්‍යාපෘතිය අවසානයේදී මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ , වාණිජ මහාධිකරණ, දිසා අධිකරණ , මහේස්ත්‍රාත් අධිකරණ ඇතුලු අධිකරණ පද්ධතිය සියලු පහසුකම් ද සහිතව මෙම පරිශ්‍රය තුළ ස්ථානගත වන අතර එකම ස්ථානයක් තුළින් සියලු අධිකරණ පහසුකම් ලබා ගැනීමේ හැකියාව උදාවීමට නියමිතව ඇත.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු) එච්.සී.එච්.ගුණතිලක ,මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී කල්‍යානී සිල්වා, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.ඒ.එස්.පද්මසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ හා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
