නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම මගින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කොට ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද ( 21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109:06 වගන්තිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක් තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍යාංශය තුළ සිදුවේ යැයි කියන මුදල් අවභාවිතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉන් දන්වා තිබූ බවත් රණවක මහතා මෙහිදී අනාවරණය කළේය.
"ඒ නොතීසිය මා වෙත එව්වෙ ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් මැතිතුමා. එහිදී විශාල මාධ්‍ය ප්‍රචාරයක් ආණ්ඩුවේ මාධ්‍යවලින් ප්‍රකාශ කළා. මම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ඉන්න කාලේ රුපියල් මිලියන 150 ක් අවභාවිතාවක් කළාය කියලා ප්රචාරක වැඩ කටයුත්තක් ගැන. නමුත් ඒ නොතීසිය තිබුණේ රුපියල් මිලියන 75 ක ප්රචාරක කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න. අපේ හිටපු අග්‍රාමාත්‍යතුමාගෙ අමාත්‍යාංශයෙන් එවපු ලිපියකට අනුකූලව අදාළ අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව දැනුවත් කරන්න කියලා ඒ ලිපියෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ ඉල්ලීම සම්බන්ධයෙන් මම අපේ ලේකම්තුමා ඇතුළු ඒ කාලේ හිටපු අපේ නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු ඒ කණ්ඩායමත් එක්ක කළමනාකරණ රැස්වීමේ මූලාසනය දරුවද කියලා ඇහුවා. මං කිව්වා ඔව් කියලා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. අපි හැමදාම කළමනාකරණ රැස්වීම් පැවැත්වූවා. ඒ අනුව ඒ පැවැත්තුවද කියලා."
මේ සාකච්ඡාව ඉදිරියට යද්දී 2018 සහ 2019 වර්ෂවල තම දුරකතන සංවාදයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සවන් දී ඇති බව මෙහිදී හිටපු අමාත්‍යවරයාට දැනගැනීමට ලැබී තිබේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වෙනි වගන්තියට අනුව එවැනි විමර්ශනයක යෙදෙන පොලිස් නිලධාරීන්, දුරකථන සංවාද සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරයාගේ අවසරයක් ලබා ගත යුතුය .
"මම ඇහුවා එවැනි අවසරයක් ගත්තද මගේ දුරකථන වලට සවන් දෙන්න මහේස්ත්‍රාත්වරයාගෙන්? ඔවුන් මට ප්‍රකාශ කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ විසින් ඒවා ඔවුන්ට ලබා දීපු බව. එතකොට එවැනි මහේස්ත්‍රාත් අවසරයක් තිබුණු නැති බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මගේ ඒ ප්‍රකාශයේ ඒ බවත් මම සඳහන් කළා."
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම පුද්ගලිකත්වයට ඇති අයිතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන් භුක්ති විදින පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල මෙහිදී නීති විරෝධීව උල්ලංඝනය කොට තිබෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 2 වැනි වගන්තිය මගින් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද දැක්වෙන එහි 7 වැනි වගන්තිය මගින් ද මේ වරප්රසාදයන්ට අමතරව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සතු වරප්‍රසාද ද මීට අයත් වන බව ඔහු මෙහිදී සිහිපත් කළේය.
"ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු ප්‍රධාන වරප්‍රසාදයක් වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එම වරප්‍රසාදය නිරුක්ති කර ගැනීමේදී මේ වන විට මේ රට තුල බලාත්මක වන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතීන් පිළිබද සම්මුතියේ 19 වෙනි වගන්තියේ සඳහන් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දේශ සීමා හා මායිම් තුළ නොසිට හා තොරතුරු හා අදහස් සොයා යාම ලබා ගැනීම හා බෙදාහැරීමේ නිදහස තම අදහස් වාචිකව ලිඛිතව මුද්‍රිතව ඕනෑම ආකාරයකින් වෙනත් මාධ්‍යයක් තුළින් ප්‍රකාශ කළ හැකි බවයි. ඉහත කී පසුබිම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම දුරකථනය එම අදහස් ප්‍රකාශ කිරීම සඳහා අත්‍යන්තයෙන්ම උපකාරී වන මෙවලමක් ඒ තුළ මන්ත්‍රීවරයෙකුගේ පුද්ගලික නිදහසට යටත් වන තොරතුරක් වන තමන් සතු වරප්‍රසාද තොරතුරක්. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ පාර්ලිමේන්තු වරප්‍රසාදය උල්ලංඝනය කරලා තියෙන බව මගේ හැඟීමයි."
නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන්ට අදාළ දත්ත, අදාල දුරකථන සේවා සැපයුම්කරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුදාහැරීම මගින් අදාළ සේවා සැපයුම්කරුවන් ද තම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
