පොහොට්ටු, එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගත නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයේදී සෑම මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහාම තනිව තරඟ කිරීමට සැලැසුම් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් හා මධ්‍යම පළාතේ හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා පැවැසීය.
මෙරව පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන්ම ජය ගැනීමේ සටනක නිරතව සිටින බවද හෙතම කීය.
නුවරඑළියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන් හා විධායක නිලධාරීන්ගේ රැස්වීමකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නගන ලද ගැටළුවලට පිළිතුරු දෙමින් සරත් ඒකනායක මහතා අද (06) එසේ පැවැසීය.
එහෙදී තවදුරටත් අදහස් දක්වමින් සරත් ඒකනායක මහතා
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාවේ සෑම මැතිවරණ කොට්ඨාශයක්ම අඩංගුවන දිස්ත්‍රික්කවලට ගිහිල්ලා ඉදිරි පළාත් පාලන මැතිවරණය කොයි ආකාරයෙන්ද සැළැසුම් කරන්නේ කියන කාරණයත්, කොහොමද අපි නාම යෝජනා පත්‍ර භාර දෙන්නේ යන කාරණා සම්බන්ධවයි අද අපි මෙතැනදී සාකච්ඡා කළේ.
මෙවැනි වකවානුවක විවිධ මතිමතාන්තර තියෙනවා. මාධ්‍යයේ විවිධ දේවල් යනවා. අපේ ගමේ සිටින නියෝජිතයාට ප්‍රශ්ණ ගැටළු තිබෙනවා. අපි ඒ ගැනත් සාකච්ඡා කළා. එම සාකච්ඡා සිදු කොට අපි නිසි තැනට එනවා. කොහොමත් අපි පළාත් පාලන මැතිවරණය අනිවාර්යෙන්ම ජය ගැනීමේ ඒ සටන තමා අපි මේ විදිහට දිස්ත්‍රික්කයක් ගානේ ආරම්භ කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් හදපු පක්ෂය. ඒ පක්ෂයට ජනබලය කියන එක ඔලු ගෙඩිවලින් ගණන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම බැලුවනම් අපි එකවරක් ආසන අටට බැහැලා තියෙනවා. නමුත් නැවතත් ගොඩ වෙලා 94 වර්ෂයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ජනාධිපතිවරයෙක් තමයි මේ රට පාලන කළේ. මේ ඊයේ පෙරේදා අන්නපනල්ලේ මේ එකක්වත් නැතිව හිටපු කෙනාට ජනාධිපතිකම දුන්නට. දැන් ඉන්න ජනාධිපතිවරයාට ජනබලය තියෙනවාද.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සෑම ආසනයකම ආසන සංවිධායකවරයෙක් ඉන්නවා. ඒ වගේම සෑම කොට්ඨාශයකටම නායකයෙක් ඉන්නවා. එවැනි බලයක් මුළු ලංකාව පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙනවා. ජනබලය කියන එක අපි මැතිවරණය ආවම බලා ගමු” යයිද පැවැසීය.
ශාන් හුලංනුගේ