තලවතුගොඩ වැලි පාර ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකු ඊයේ (20 දා) රාත්‍රී වෙඩිතබා ඝාතනය කර ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන " අතුරුගිරියේ ලඩියා" නමැත්තාගේ ගෝලයෙකුගේ වැඩිමහල් සහෝදරයකු ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තලවතුගොඩ වැලිපාරේ අංක 492/1/1 හි පදිංචි දිලුක් රංග පෙරේරා නොහොත් " දිලූවා " නමැති (41) හැවිරිදි පුද්ගලයෙකි.
මොහු තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ කාමරයක 20 දා රාත්‍රී 09 පමණ නිදා සිටියදී සම්පූර්ණ මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයකු මොහු රැදී සිටි කාමරයට පැමිණ මිලිලීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් මියගිය පුද්ගලයාගේ සිරුරේ ස්ථාන පහකට වෙඩි ප්‍රහාර පහක් තබා පලා ගොස් තිබුණි.
එහිදී පාදයකට , පිට ප්‍රදේශයට , පපුවට , වම් ඇසට , හා නළලට වෙඩි වැදී තිබූ අතර ඉන් බරපතළ තත්වයේ පසුවූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලීසිය කියයි .
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ " අතුරුගිරියේ ලඩියා" නමැත්තා ගේ සමීපතමයෙකු වූ අතුරුගිරියෙ සංඛ නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා ඉකුත් 2017 වසරේදී 13 දෙනෙකුගෙන් යුත් කල්ලියක් පැමිණ තලවතුගොඩ ප්‍රදේශයේදී කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියකට බන්ධනාගාර ගතව සිට දැනට ඇප මත නිදහස්ව සිටින අයෙකු බවත් ඊට අදාළ නඩුව මේ වන විට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් ඊට පලිගැනීමක් ලෙස මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක කරන බවත් පැවසේ.
එහෙත් මෙම ඝාතනයට නිශ්චිත හේතුව සොයා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා ද අතුරුගිරියේ ලඩියා නැමැත්තා සමග කලක් සමීප සම්බන්ධතා පැවැත්වූ අයකු බවට මූලික විමර්ශන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වෙඩි තැබීමට පැයකට පමණ පෙර මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවෙකු නිවසේ රැදී සිට ඇති අතර සිද්ධිය වන අවස්ථාවේදී ඔවුන් ඥාති නිවසක වෙනත් කටයුත්තක් සඳහා බැහැරට ගොස් තිබේ.
පසුව සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර (21) දා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි .
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය වූ ස්ථානය අවට සවිකර ඇති ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කළ බව පැවසේ.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.පී.එස්. ජයමහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්ෂිත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න