සොරාගෙන අත්හැර දමා ගිය රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා යතුරුපැදියක් පිළිබඳ පරීක්ෂණ සිදු නොකර සිය පරිහරණය සඳහා යොදා ගත් පොලිස් කොස්තාපල්වරයකු කොහුවල පොලිසියේ මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියේම අපරාධ අංශයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
ඉකුත් ජූනි මස 11 වැනි දින මහරගම සුපිරි වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පුද්ගලයෙකු සිය යතුරු පැදිය සොරාගෙන ගොස් තිබූ බවත් එම ලියාපදිංචි අංකයම සහිත එම යතුරු පැදිය පුද්ගලයකු පදවාගෙන යමින් සිටියදී තමා ඔහු පසුපස ගොස් තොරතුරු සොයා බැලීමේදී ඔහු කොහුවල පොලිසියේ කොස්තාපල් වරයෙකු බවට දැනගන්නට ලැබුණු බව පවසමින් කොහුවල පොලිසියේ නව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාට පුද්ගලයකු ඊයේ (2දා) පැමිණිල්ලක් සිදුකර තිබූ බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
තමන් ඒ පිළිබඳ මහරගම පොලිසියට පැමිණිල්ලක් කළ බව ද එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් විය.
එකී පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා විසින්ම රහසිගත විමර්ශනයක් සිදුකර කොස්තාපල්වරයා පරිහරණය කරන යතුරු පැදියට කිසිදු ලිපි ලේඛනයක් නොමැති බවත් එය ඔහුට අයත් එකක් නොවන බව පැය කීපයක් තුලදී තහවුරු කර ගැනීමට හැකිවූ වි තිබිණි.
අනතුරුව ස්ථානාධිපතිවරයා කොස්තාපල්වරයා ගෙන් ඒ පිළිබඳ පිළිබද සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඔහු ගල්කිස්ස පොලිසියේ සේවය කරන අවධියේදී ඔහු නිළ ඇඳුමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම යතුරුපැදිය අත්හැර දමා පුද්ගලයන් දෙදෙනකු පලා ගිය බවත් අනතුරුව තමන් එම යතුරු පැදිය තමන්ගේ ප්‍රයෝජනයට ගත් බවත් කොස්තාපල්වරයා පාපොච්ඡාරණය කර තිබූ බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
එකී යතුරුපැදිය නඩු භාණ්ඩයක් ලෙස පොලිසියේ අදාළ ලේඛන වලට ඇතුළත් නොකර යතුරු පැදිය සොරා ගත් පුද්ගලයන් පිළිබඳ හා එය අපරාධ සඳහා යොදා ගත්තාදැයි විමර්ශනයක් සිදු කිරීම පසෙකලා සොරකමට සම්බන්ධ යතුරු පැදිය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකාර කොස්තාපල් වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කිරීමට නියමිතය.
සැකකාර කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ සේවය කරන අවධියේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් මීට සති තුනකට පමණ ඉහත දී කොහුවල පොලිසියට මාරු කර එවූ අයෙක් බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
සැකකාර කොස්තාපල්වරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතා පරීක්ෂණ පවත්වයි.