පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පරික්ෂා කිරීම සිදු කළත් එය සාර්ථක කර ගැනීමට නම් පාසල කරා මත්ද්‍රව්‍ය පැමිණෙන ප්‍රධාන මාර්ග අවහිර කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මුල්විය සංවර්ධනය පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ පෙර පාසල් පාලිකාවන් හා අදාල නිලධාරීන් දැනුවත් කිරීම නිමිත්තෙන් ඊයේ (20)මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.
පාසල් දරු දැරියන් මත් උවදුරෙන් බේරා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධාන සැපයුම් කරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුව තිබෙනවා . සිංගප්පූරුව වැනි රටවල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දෙනු ලබන දඬුවම් ආකාරයට ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි .
අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය විවිධ ක්‍රමවලින් බැහැරට යන බවක් පේන්න තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට සිදුවූයේ කුමක්ද යන්න හෙළි කිරීම මත්ද්‍රව්‍ය කාර්යාංශය වගකීමක් බව සඳහන් කළ අමාත්‍යවරිය මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීම සඳහා සාගරයේ මෙන්ම ගුවනේ ද ආරක්ෂාව දැඩි කළ යුතුව තිබෙන බවද පැවසීය.
මෙම අවස්ථාවට ළමා හා කාන්තා කටයුතු කාර්යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.
ෂේන් සෙනෙවිරත්න