අඩු ආදායම්ලාභී නිවාස 25000ක් සඳහා සූර්ය පැනල නොමිලයේ ලබාදීමේ ක්‍රියාවලිය කැබිනට් අනුමැතිය ලැබුණු පසුව ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එමගින් මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කෙරෙන බවයි.
මෙම ව්‍යාපෘතිය පළමුව අදියර දෙකක් වශයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පළමු අදියර යටතේ නිවාස 10000ක් සඳහා සූර්ය පැනල මඟින් විදුලිය ලබාදීමට නියමිත බවයි. අනතුරුව දෙවැනි අදියර යටතේ නිවාස 15000ක් සඳහා සූර්ය පැනල මඟින් විදුලිය ලබාදෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එක් නිවසක් සඳහා රුපියල් මිලියන 2.5ක මුදලක් වෙන් කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු වාර්තා අනුව 2015 – 2019 වසරවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කර විවිධ හේතු නිසාවෙන් අතරමඟ නතරවූ නිවාස සංඛ්‍යාව 69000 කි. ඒ අතරින් තෝරාගත් නිවාස 25000ක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
එම නිවාසවල වැඩ අවසන්කොට වහලය මත සවිකෙරෙන සූර්ය පැනල මගින් කිලෝවොට් 20 විදුලියක් උත්පාදනය කෙරෙති. එම විදුලිය නිවාසවල පාවිච්චියට අමතරව ජාතික විදුලිබල පද්ධතියටද එක්කෙරෙන බව අමාත්‍යවරයා පවසයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2015 – 2019 වසරවල අඩු ආදායම්ලාභී පවුල් වෙත ආධාර පදනමින් දියත් කරනු ලැබූ නිවාස ව්‍යාපෘති රැසක් මේ වනවිට විවිධ හේතු මත අතරමඟ නතරව ඇත. ඒ අනුව මොනරාගල, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර, වවුනියාව,මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්ක 11හි රජයේ ඉඩම්වල, ගම්මාන වශයෙන් ආරම්භ කරන ලද අතරමඟ නතරව ඇති තෝරාගත් නිවාස යෝජනා ක්‍රම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මෙරට සමාඟමකට අමතරව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ හා ඕස්ට්‍රේලියානු සමාගම් සමඟ ඒකාබද්ධවී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වසර 20ක් ගතවනතුරු සූර්ය පැනලවල නඩත්තුව ආයෝජකයා විසින් සිදුකරනු ලබන බවයි.
එමෙන්ම මෙම ව්‍යාපෘතියේ පළමු වසර 7 සදහා විදුලි ඒකකයක් සදහා ඇමරිකානු ඩොලර් 0.116ක මුදලක් ආයෝජකයා වෙත ගෙවන අතර ඉතිරි වසර 13 සදහා විදුලි ඒකකයකට ඇමරිකානු ඩොලර් 0.0816 ක් ගෙවනු ලබයි.
මෙම සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය හරහා වසරකට ගිගාවොට් 648ක ප්‍රමාණයක විදුලිය උත්පාදන කෙරේ. එබැවින් මෙරටට ඉන්ධන ආනයනය කිරීමට වසරකට වැයවන මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 116.64ක මුදලක් ඉතිරිවන බවද අමාත්‍යවරයා පවසයි.
මෙම ව්‍යාපෘතියෙන් ගිවිසුම්ගත විසිවසරක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2,332.80 විදේශ විනිමය වටිනාකමක් රටට ඉතිරිවන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.