අකුරණ ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ අංක 02 යන ස්වාධීන කණ්ඩායම් දෙකෙන් තේරි පත් වූ මන්ත්‍රීවරුන් තිදෙනො මෙතෙක් ජාතික ජන බලවේගයට ලබා දී තිබූ සහාය අද 10 වනදා සිට ඉල්ලා අස් කර ගන්නා බව මාසික මහ සභා රැස්වීමේදී එම මන්ත්‍රීවරුන් තිදෙනා වෙන් වෙන් වශයෙන් ප්‍රකාශයන් සිදු කර සිය සහාය ඉල්ලා අස් කර ගත්හ.
අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දයක් පැවැති අතර එම ඡන්දයේදී මෙම සභිකවරුන් තිදෙනා ජාතික ජන බලවේගයේ සභාපති අපේක්ෂකට සහාය ලබා දී තිබූ අතර එදා පටන් මේ දක්වා ඔවුහු ජාතික ජන බලවේගයට සහාය ලබා දෙමින් සිටියහ.
කෙසේ නමුත් අද 10 වනදා පැවැති අකුරණ ප්‍රාදේශීය සභාවේ මාසික මහ සභා රැස්වීමේදී එම මන්ත්‍රීවරුන් තිදෙනා වෙන් වෙන් වශයෙන් ප්‍රකාශයන් සිදු කරමින් ජාතික ජන බලවේගයට ලබා දී තිබූ සිය සහාය ඉල්ලා අස් කර ගන්නා බව ප්‍රකාශ කළහ.
මෙහිදී මුලින්ම අදහස් දැක්වූ ස්වාධීන කණ්ඩායම් 02 නියෝජනය කරමින් තේරි පත්ව සිටින කසුන් එරංග වික්‍රමරත්න මහතා මෙසේ කීය.
‘ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට අපි කැමැත්තක් පළ කළ නිසා සාකච්ඡා වට පහක් සාකච්ඡා කරලා අපි තීරණය කළා සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේදී ජාතික ජන බලවේගයට සහාය දෙන්න. එහෙම සහාය දුන්න මම අපේ ගමට ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළා ව්‍යවසායකයින් පස් දෙනෙකු නිර්මාණය කරන්න. යෝජනාව සම්මත වුණා් මුදලුත් අනුමත වුණා. පස්සේ මාලිමාවේ කණ්ඩායම ඇවිත් කියනවා යෝජනාව මට ක්‍රියාත්මක කරන්න දෙන්නේ නෑ කියලා. කණ්ඩායමට අත ඉස්සුවට තවම එකට එක ප්ලේන්ටියක්වත් බොන්න බැරි වුණා. මම මේ මොහොතේ ඉ ඳලා මාලිමාවට ලබා දුන් සහාය ඉවත් කරගෙන ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන අතරම සභාපති(සජබ) තුමා ගෙන එන හොඳ යෝජනාවන්ට සෑම අවස්ථාවකදීම සහාය ලබා දෙනවා.
ස්වාධීන කණ්ඩායම් අංක 01 නියෝජනය කර තේරි පත් වූ එස්.එම්.තාරික් මොහොමඩ් මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ කීය.
මමත් සභාවට ආවේ ස්වාධීන කණ්ඩායමෙන්. පවතින රජයට සහාය දෙන්න ඕන කියන අදහසින් මාලිමාවට සහාය දුන්නා.නමුත් ඒ අයගේ එකම රැස්වීමකට වත් අපට කතා කරන්නේ නෑ.අද ඉඳල මමත් ස්වාධීන වෙනවා. මින් පසුව සභාපතිතුමා ගෙන එන හො ඳ යෝජනාවන්ට සහාය ලබා දෙන බවත් ප්‍රකාශ කරන්න කැමැතියි.
ස්වාධීන කණ්ඩායම් 02 නියෝජනය කරමින් පත් වූ හිටපු උප සභාපතිවරයෙකුද වන අමරජීව ඉන්ද්‍රකුමාර මහතා මෙලෙස සඳහන් කරමින් සිය ස්වාධීන වීම ප්‍රකාශ කළේය.
“ මගේ ප්‍රතිපත්තිය පක්ෂ රකින එක නෙවෙයි. ප්‍රදේශයේ ජනතාවට සේවය කරන එක. ඒ අනුව අපි සේවය කරපු නිසා තමයි ස්වාධීනව දිනන්න පුළුවන් වුණේ. මාලිමාවේ නියෝජිඑතයෝ අපට කිව්වා ආණ්ඩු පක්ෂයට දෙන විදිහටම ජනතාවට සේවය කරන්න අපටත් අවස්ථාව ලබා දෙනව කියලා. පක්ෂ මාරු කළත් අපි කවදාවත් පුද්ගලික වරප්‍රසාද වරදානවලට ගිහිල්ල නෑ. අපේ දරුවෙක් පාසලකටවත් දාගෙන නෑ. ඒ නිසා අපි එක ඉල්ලීමයි කළේ අපටත් ගමේ ජනතාවට සේවය කරන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙන අවස්ථාව ලබා දෙන්න කියලා. නමුත් එදා ජූනි 11 වනදා හම්බ වුණාට පස්සේ මේ වන තුරු අපිට එකතු වෙලා කතා කරන්නවත් බැරි වුණා. රටේ නායකයා හොඳ වැඩපිළිවෙළක් යටතේ රට අරන් යනව කියල අද බහුතරය පිළිගන්නවා.ඒක මමත් පිළිගන්නවා. නමුත් මේක බිම් මට්ටමේ ඇනෙන කොට තව දුරටත් අපට එතැන ඉඳගෙන බලාගෙන ඉන්න බෑ.
අපට ඕන ජනතාවට සේවය කරන්න ඒකට තැනක් ලැබෙන්නේ නැත්නම් ආණ්ඩුව පැත්තේ ඉඳගෙන ජනතාවට සේවය කරන්න හිතපු එක සිහිනයක් පමණයි කියලයි හිතෙන්නේ. එදා ගත්ත තීන්දුව ගැන අද අපි කණගාටු වෙනවා. ඒ අනුව අද ඉඳලා අපි තුන් දෙනාම ස්වාධින වෙලා සභාපතිතුමාගේ හොඳ වැඩවලට ඉදිරියේදී පූර්ණ සහාය ලබා දෙන්නත් තීරණය කළා යැයිද කීය.