ගෝනගංආර පොලිස් වසමට අයත් රත්තරංකනත්ත ප්රදේශයේ වෙල්යායකදී ඊයේ (27) වෙනිදා සවස අකුණුසැර වැදීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වගුරුවෙල පදිංචි මොනරාගල පොලීසියේ 1990 ගිලන්රථයේ රියදුරු ලෙස සේවයකරන ඩබ්ලිව්.එම් සිතාර මධුශංඛ (32) සහ ඔහුගේ ඥාති සහෝදරයෙකු වන ඩබ්ලිව්.එම් චමින්ද බණ්ඩාර (31) නැමති අවිවාහක තරුණයන් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනා දෙයියන්නේවෙල රත්තරං කනත්ත වෙල්යායේ තණකොළකපන යන්ත්රයකින් තණකොළ කපමින් සිටියදී ඒ අවස්ථාවේදී ඇදහැළුණු වැස්ස නිසා වාඩියට පැමිණ ඇත.
එසේ වාඩියේ සිටින විටදී සිතාර මධුසංඛ යන අයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී ඇති අතර ඊට ප්රතිචාර දැක්වීමට යාමේදී අකුණුසැර වැදී ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
ඔවුන් සිටි වාඩිය ගිනිගන්නා අයුරු දුටු චමින්දගේ මව අසල පිහිටි නිවසේ සිට දැක සිද්ධිය වූ ස්ථානයට ගොස් බලන විට සිතාර සහ චමින්ද වාඩිය අසල වැටී සිටිනු දැක ඇත.
ඇයගේ කෑගැසීමෙන් අසල්වාසීන් එම ස්ථානයට පැමිණ තිබේ.ඒවන විටත් තරුණයින් දෙදෙනා සිද්ධියවූ ස්ථානයේදීම මියගොස් ඇති බව දැනගෙන ඇත.
මෙම මරණ පිළිබඳව හදිසි මරණ පරීක්ෂණයන් සහ පශ්චාත් මරණ පරීක්ෂණයන් අද(28) මොනරාගල දිස්ත්රික් මහා රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
ගෝනගංආර පොලිස් ස්ථානාධිපති වසන්ත බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක