අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳ විමර්ශනයක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට බලපා ඇති කරුණු පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කර, එම ප්‍රමාදය ආරම්භ වූ ආකාරය, ඊට බලපෑ පරිපාලනමය හා තාක්ෂණික කරුණු මෙන්ම අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දින 45ක් තුළ ඉදිරිපත් කරන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ කාරක සභාවේදී මෙම උපදෙස් ලබා දෙන ලදී.
අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු විමසූ කාරක සභාව, එයට හේතු, ආරම්භ වූ අවස්ථාව, ගත් පියවර සහ අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් හා සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස උපදෙස් ලබා දුන්නේය. 2026 මාර්තු 10 වැනිදායින් පසු ලියාපදිංචි කළ වාහන සඳහා දින 14ක් ඇතුළත අංක තහඩු ලබා දීම ආරම්භ කර ඇති බව ද නිලධාරීහු සඳහන් කළහ.
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳවද සාකච්ඡා වූ අතර, දැනට මුද්‍රණය සඳහා පවතින බලපත්‍ර ප්‍රමාණය 678,000ක් පමණ වන අතර දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 4,600ක් පමණක් බැවින් පසුබෑම තවදුරටත් වර්ධනය වන බව නිලධාරීහු පැවසූහ. එය කඩිනමින් විසඳීම සඳහා ඔක්තෝබර් 15 වැනිදා වන විට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ස්ථාපනය කර දෛනික ධාරිතාව බලපත්‍ර 8,200ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළහ.
මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය උපකරණ හා තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඉදිරියේදී මෙවැනි ප්‍රමාදයන් වැළැක්වීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය. දෙපාර්තමේන්තුවේ පරිපාලන කාර්යක්ෂමතාව, පුරප්පාඩු, ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීම සහ මහජන සේවා සැපයීමේදී සිදු වන අනවශ්‍ය ප්‍රමාදයන් වැළැක්වීම පිළිබඳව ද කාරක සභාව කරුණු විමසීය.
එමෙන්ම, දෙපාර්තමේන්තුවේ පරිපාලන කාර්යක්ෂමතාව, පවතින පුරප්පාඩු, ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීම සහ මහජන සේවා සැපයීමේදී සිදු වන අනවශ්‍ය ප්‍රමාදයන් වැළැක්වීම සම්බන්ධයෙන් ද කාරක සභාව කරුණු විමසීය.
මේ අතර, බලශක්ති අමාත්‍යාංශය සහ අදාළ ආයතන සමඟ පැවති සාකච්ඡාවේදී වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති සහ උපපොළ ආශ්රිත බැටරි බලශක්ති ගබඩා පද්ධති වල වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරිණි. සූර්ය බලශක්ති උත්පාදනයේ වෙනස්වීම් හේතුවෙන් විදුලිබල ජාලයේ ස්ථාවරත්වය හා සංඛ්‍යාත පාලනය සම්බන්ධයෙන් මතුවන තාක්ෂණික අභියෝග මෙන්ම, දහවල් කාලයේ විදුලි ඉල්ලුම අඩු වීම හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රතිවිරුද්ධ විදුලි බල ගලායෑමේ (Reverse Power Flow) තත්ත්වය කළමනාකරණයට බැටරි බලශක්ති ගබඩා පද්ධති යොදා ගැනීමේ අවශ්‍යතාව ද සාකච්ඡා විය.
පාරිභෝගික මට්ටමින් විදුලි පරිභෝජනය හා උත්පාදනය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ස්මාර්ට් මීටර් ලක්ෂ 4ක් පමණ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒකක 180කට වැඩි විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන්ට ප්‍රමුඛතාව ලබා දීමට නියමිත බව ද සඳහන් විය. කොළඹ සහ කෝට්ටේ වැනි ප්‍රදේශවල බෙදාහැරීමේ ට්‍රාන්ස්ෆෝමර් ධාරිතා සීමා හේතුවෙන් සූර්ය බලශක්ති පද්ධති පුළුල් කිරීමට පවතින බාධා මඟහරවා ගැනීම සඳහා ට්‍රාන්ස්ෆෝමර් මට්ටමින් කුඩා බැටරි පද්ධති ස්ථාපනය කිරීමේ හැකියාව ද සාකච්ඡා කෙරිණි.
බැටරි පද්ධති සඳහා පවතින බදු ප්‍රතිපත්තිය යටතේ මෙගාවොට් එකකට වඩා වැඩි පද්ධති සඳහා ආනයනික බදු සහන ලබා දී ඇති නමුත්, ගෘහස්ථ හා කුඩා ව්‍යාපාරික මට්ටමේ පද්ධති සඳහා ඉහළ බදු පවතින බව සඳහන් විය. එබැවින් කුඩා පරිමාණ බැටරි පද්ධති සඳහා ද බදු සහන ලබා දීම හෝ බදු අවම හෝ කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා විය. තවද, බැටරි තාක්ෂණය සඳහා විශ්වවිද්‍යාල හා කාර්මික විද්‍යාල මට්ටමින් පුහුණු පාඨමාලා හඳුන්වා දීම සහ විදුලිබල අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.
පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා විදුලිබල පිරිවැය අවම කරගැනීමට සූර්ය, සුළං සහ ජල විදුලිය වැනි අඩු පිරිවැය සහිත විදුලි උත්පාදන ක්‍රම කෙරෙහි උපරිම අවධානය යොමු කළ යුතු බව ද සඳහන් කෙරිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
